පුලිඳු පෙරේරා පළමු පෙළ හොඳම ඉනිම ක්‍රීඩා කරයි

West Indies Academy tour of Sri Lanka 2026

3
West Indies Academy tour of Sri Lanka

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම අතර පැවැත්වෙන 2 වැනි සහ අවසන් සිවු දින නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගයේ 2 වැනි දිනය (16) අවසන් වන විට තම පළමු ඉනිමට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 430ක් ලබා සිටියා.

සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 231ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසයි ඔවුන් මෙම ඉනිම ක්‍රීඩා කරමින් සිටින්නේ. ඔවුන්ගේ එම ඉනිමත් සමඟින් මේ වෙද්දී ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 199ක් ඉදිරියෙන් පසුවෙනවා.

අද තරගය ආරම්භ වෙද්දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කිසිවෙක් නොදැවී ලකුණු 37ක් ලබා සිටි අතර ඒ වෙද්දී පුලිඳු පෙරේරා ලකුණු 13ක් ද සහ රවිඳු රසාන්ත ලකුණු 5ක් ද ලබා ගෙන නොදැවී පිටියේ රැඳී සිටියා.

දිනයේ වැඩිම ලකුණුලාභියා වෙමින්, 20 හැවිරිදි වියේ පසුවෙන වමත් ආරම්භක පිතිකරු පුලිඳු පෙරේරා ලකුණු 145ක් ලබා ගන්නවා. ඔහු තම ඉනිමට පන්දු 188ක් වැය කළ අතර ඊට හතරේ පහර 14ක් සහ හයේ පහරක් එක් කරනවා. එය පුලිඳු පෙරේරා ගේ පළමු පෙළ තරග දිවියේ ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.

ඔහුගේ එම ඉනිමේ දී රවිඳු රසාන්ත හා එක් ව පළමු වැනි කඩුල්ලට ලකුණු 168ක සබඳතාවක් ද සහ අසිත වන්නිනායක හා එක් ව 2 වැනි කඩුල්ලට ලකුණු 94ක සබඳතාව ද එක් කරනවා.

රවිඳු රසාන්ත පළමු වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 126කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 60ක් ලබා සිටි අතර අසිත වන්නිනායක ඉනිමේ 4 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 102කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 60ක් ලබා සිටියා.

ඒ අතර අසිත වන්නිනායක සහ සහන් කෝසල එක් ව 3 වැනි කඩුල්ලට ලකුණු 76ක සබඳතාවක් එක් කරනවා. එම සබඳතාව බිඳ වැටෙන්නේ සහන් කෝසලගේ දැවී යෑමත් සමඟිනුයි. සහන් කෝසල පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 38ක් ලබා සිටියා.

තරගය 2 වැනි දිනයට නතර කරන විට අංජල බණ්ඩාර පන්දු 62කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 48ක් ද සහ ශාරුජන් ශන්මුගනාදන් පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 33ක් ද ලබා සිටියා.

ඔවුන් දෙදෙනා එක් ව මේ වෙද්දී ලකුණු 71ක සබඳතාවක් එක් කර ඇති අතර  ශ්‍රී ලංකා ඉනිමට ප්‍රතිවාදීන්ගෙන් ලැබුණ අතිරේක ලකුණු 46ක් ද ඇතුලත්.

කඩුලු දවා ගැනීමේ දී Zishan Motara ලකුණු 101කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව Giovonte Depeiza සහ Raneico Smith කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමික්‍රිකට් කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 231 (67.5) Shaqkere Parris99, Rivaldo Clarke 57,  Nathan Edward 28, නිසල අබේරත්න 2/38, චමෝද් බට්ටගේ 4/51, ශක්ති උදාර 2/61
  • ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 430 (97.0) පුලිඳු පෙරේරා 145, රවිඳු රසාන්ත 60, අසිත වන්නිනායක 60, සහන් කෝසල 38, ශාරුජන් ශන්මුගනාදන් නොදැවී 33, අංජල බණ්ඩාර නොදැවී 48, Zishan Motara2/101

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම ලකුණු 199ක් ඉදිරියෙන්.

තරගය හෙට (17) 3 වැනි දිනයටත් පැවැත්වීමට නියමිතයි.

බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායමේ මෙරට සංචාරයේ තවත් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<