කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමයේ පළමු දිනයේ වැඩි වාසි කිංග්ස්වුඩ් විදුහලට

116th battle of maroons hill country

260

කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමය ලෙස විරුදාවලි ලත් මහනුවර ධර්මරාජ සහ කිංග්ස්වුඩ් විද්‍යාල අතර 116 වැනි වතාවට පැවැත්වෙන මහා ක්‍රිකට් තරගය අද (24) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.

මෙවර තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට කිංග්ස්වුඩ් නායක අමේෂ් රූපසිංහ විසින් සමත් වූ අතර, ඔහු විසින් පළමුව පන්දු යැවීම තෝරා ගත්තා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට ආරාධනා ලද ධර්මරාජය වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් ලෙස පුලිඳු පෙරේරා සහ ඉසුරු පන්නල පිටියට පිවිසි නමුත් ධර්මරාජය බලාපොරොත්තු වූ ආරම්භය ලබා දීමට ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැහැ.

ධර්මරාජ ඉනිමට ලකුණු 21ක් එකතු වන විට ඔවුන්ගේ පළමු කඩුල්ල බිඳ වැටුණු අතර, කිංග්ස්වුඩ් නායකයා විසින් පළමුව පන්දු යැවීමට ගත් තීරණය ඉතාමත් නිවැරදි එකක් බව පසක් කරමින් පන්දුවාර 39ක් තුල ධර්මරාජ පළමු ඉනිම ලකුණු 114කට සීමා කිරීමට කිංග්ස්වුඩ් පන්දු යවන්නන් විසින් සමත් වුනා.

එහි දී අබ්දුල් හකීම්, අමේෂ් රූපසිංහ සහ කෙනුල පිහිලිඅංග විසින් ධර්මරාජ ඉනිමේ කඩුලු තුන බැගින් බිඳ හෙළීමට සමත් වූ අතර, ධර්මරාජ ඉනිමේ ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි ඉසුරු පන්නල ලකුණු 25ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වුනා.

ඒ අනුව දිනයේ වැඩි වාසි තමන් සතුව ඇති බවට ලද ආත්ම විශ්වාසය සමඟින් කිංග්ස්වුඩ් විද්‍යාලය සිය පළමු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසුණු නමුත් තත්වය ඔවුන් බලාපොරොත්තු වූ තරම් සතුටුදායක එකක් වුනේ නැහැ.

කිංග්ස්වුඩ් ඉනිමේ පළමු කඩුලු පහම ලකුණු 26ක් තුල දවා ගැනීමට ධර්මරාජ පන්දු යවන්නන් විසින් සමත් වූ අතර පසුව පිටියේ එක් වූ නායක අමේෂ් රූපසිංහ සහ අබ්දුල් හකීම් විසින් ඉනිමේ හය වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 57ක වටිනා සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා.

ඒ අනුව කිංග්ස්වුඩ් ඉනිමේ දෙවැනියට වැඩිම ලකුණු ලාභියා වූ හකීම් ඉනිමේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 83ක් වෙද්දී පිටියෙන් ඉවත් වූ අතර කෙසේ හෝ පසුපෙළ පිතිකරුවන් සමඟ එක් වී කිංග්ස්වුඩ් ලකුණු පුවරුව ලකුණු 132ක් දක්වා ගෙන ඒමට නායක අමේෂ් විසින් සමත් වුනා.

මෙහි දී අමේෂ් රූපසිංහ කිංග්ස්වුඩ් ඉනිම නිමා වන විට නොදැවී ලකුණු 67ක් ලබා සිටි අතර ඔහු ඒ වෙනුවෙන් හතරේ පහර හයක් සහ එක් හයේ පහරක් ඇතුළත් කර ගැනීමට සමත් වුනා.

ඒ අනුව පන්දුවාර 51ක් තුල දී සියල්ලන් දැවී ලකුණු 132ක් ලබා ගැනීමට කිංග්ස්වුඩ් කණ්ඩායම සමත් වුනේ පළමු ඉනිමේ දී ධර්මරාජයන්ට වඩා ලකුණු 18ක ඉදිරියක් ද ලබා ගනිමිනුයි.

මෙහි දී ධර්මරාජය වෙනුවෙන් පුලිඳු පෙරේරා විසින් ලකුණු 44කට කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වුනා.

ඒ අනුව දිනය නිමා වීමට සුළු මොහොතක් ඉතිරිව තිබිය දී ධර්මරාජ කණ්ඩායම සිය දෙවැනි ඉනිම ආරම්භ කළ අතර එම ඉනිමේ එක් පන්දුවාරයක් පමණක් ක්‍රියාත්මක කිරීමෙන් පසුව අද දිනයට තරගය නතර කිරීමට විනිසුරුවන් තීරණය කළා.

ධර්මරාජ විද්‍යාලයේ පළමු ඉනිම 114/10 (39) – ඉසුරු පන්නල 25, මලීෂ රාජකරුණා 14 , අමේෂ් රූපසිංහ 3/30, කෙනුල පිහිලියන්ග 3/19

කිංග්ස්වුඩ් විද්‍යාලයේ පළමු ඉනිම 132/10 (51) – අමේෂ් රූපසිංහ 67, අබ්දුල් හකාම් 28 , පුලිඳු පෙරේරා 4/44, කළණ හේරත් 1/5

ධර්මරාජ විද්‍යාලයේ දෙවැනි ඉනිම 0/0 (1) – කවිඳු මනහර 0, තිසරු වන්නිනායක 0

ඒ අනුව 116 වැනි කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමයේ පළමු දිනය නිමා වන විට දිනයේ වැඩි වාසි සියතට ගැනීමට කිංග්ස්වුඩ් විදුහල සමත් වී ඇති නමුත් තරගයේ දෙවැනි සහ අවසන් දිනය වන හෙට දිනයේ දී මෙහි යම් වෙනසක් සිදු කිරීමට ධර්මරාජය සමත් වේ දැයි අපි බලා හිඳිමු.

අද දිනයේ මෙන්ම හෙට දිනයේ ද මෙම තරගය සජීවීව ThePapare.com හරහා ඔබට නැරඹීමට අවස්ථාව හිමි වන අතර, දිනය අවසානයේ තරග සාරාංශය ඔබ වෙත ගෙන ඒමට ද ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<