ලෝක කුසලානයේ කැපී පෙණෙන පිතිකාරිනියෝ

ICC Women's T20 World Cup 2026

4
ICC Women's T20 World Cup 2026

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට ඇත්තේ තවත් දින කිහිපයක් පමණයි. මේ වෙද්දී සියලුම කණ්ඩායම් තරගාවලිය පැවැත්වෙන එංගලන්තයේ සහ වේල්සයේ කඳවුරු ලා සිටිනවා.

මෙවර තරගාවලිය නියෝජනය කරන ක්‍රීඩිකාවන් අතර කාන්තා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටිය හොල්ලන් සිටින පළමු ස්ථාන 10 යේ සිටින පිතිකාරිනියන් අතුරින් 8 දෙනෙක් ම තරගාවලිය හා එක් ව සිටීම විශේෂත්වයක්.

මේ ඔවුන් පිළිබඳ ව තැබෙන කෙටි සටහනක්.

Suzie Bates (නවසීලන්තය)

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ 38 වැනි වියේ පසුවෙන Suzie Bates මෙවර ලෝක කුසලාන තරගාවලිය හා එක්වෙන ක්‍රීඩිකාවන් අතුරින් සුවිශේෂී අවධානයකට ලක් ව සිටින ක්‍රීඩිකාව බවට පත් ව සිටිනවා.

මේ වන විට කාන්තා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග ඉතිහාසයේ සේ ම කාන්තා විස්සයි විස්සයි විස්ස ලෝක කුසලාන තරග ඉතිහාසයේ ද වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා සිටින ක්‍රීඩිකාව වන්නේ ද ඇයයි.

මේ දක්වා ඇය ලෝක කුසලාන අවසන් මහා තරග 3කට ඇතුලු කාන්තා ලෝක කුසලාන තරග 42කට ක්‍රීඩා කර ඇති අතර එහි දී ලබා ඇති ලකුණු සංඛ්‍යාව 1216ක්. ඊට අර්ධ ශතක 8ක් ඇතුලත් වෙනවා. මේ ලකුණු අතුරින් ඇය ගේ ඉහළ ම ඉනිම බවට වාර්තා වෙන්නේ පාකිස්තානයට එරෙහි ව 2014 වසරේ Sylhet හි දී පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් ලබා නොදැවී ලබා ගත් ලකුණු 94යි.

දශක 2කට ආසන්න කාලයක් කාන්තා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ රැඳී සිටින ඇය මේ දක්වා තරග 183කට ක්‍රීඩා කරමින් ලකුණු 4720ක් ලබා සිටිනවා. ඒ අතරට ඇය ගේ හොඳම ඉනිම බවට පත් වෙන්නේ දකුණු අප්‍රිකානුවන්ට එරෙහි ව 2018 වසරේ දී Taunton හි දී නොදැවී ලබා ගත් ලකුණු 124යි. එම ඉනිමට අමතර ව අර්ධ ශතක ඉනිම් 28ක් ද ඇය ගේ ලකුණු අතරට ඇතුලත්.

2012 වසරේ සිට 2025 වසර දක්වා වරින් වර අවස්ථා 72ක දී නවසීලන්ත විස්සයි විස්ස කණ්ඩායමේ නායිකාව ද වූ ඇය ඒ අතර කාලයේ දී ශතකයක් සහ අර්ධ ශතක 15ක් සමඟින් ලකුණු 2236ක් ලබා ගන්නවා.

මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරු ව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට සැරසෙන Suzie Bates මේ වන විට කාන්තා එක්දින ජාත්‍යන්තර තරග පිටියේ වැඩිම කාලයක් රැඳී සිටින ක්‍රීඩිකාවයි. ඇය නිමා වූ අගෝස්තු මාසයේ දී ඊට දශක 2ක් සපිරුවා.

Smriti Mandhana (ඉන්දියාව)

29 හැවිරිදි වියේ පසුවෙන ආරම්භක වමත් පිතිකාරිනී Smriti Mandhana ද මෙවර ලෝක කුසලාන තරගාවලිය හා එක් වෙන ක්‍රීඩිකාවන් අතුරින් වඩාත් කතා බහට ලක් වෙන ප්‍රමුඛ පෙළේ ක්‍රීඩිකාවක් බවට පත් ව සිටිනවා.

ඉන්දියාව වෙනුවෙන් මෙතෙක් කාන්තා විස්සයි විස්ස තරග 166කට ක්‍රීඩා කර ඇති ඇය ශතකයක් සහ අර්ධ ශතක 33ක් සමඟින් ලකුණු 4333ක් ලබා සිටිනවා.

මෙම ඉනිම් අතුරින් ඇය ගේ ඉහළ ම දක්ෂතාව බවට පත් වෙන්නේ නිමා වූ වසරේ දී එංගලන්තයට එරෙහි ව පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහර 3ක් සමඟින් වාර්තා කරන ලද ලකුණු 112යි.

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ මේ දක්වා ඇය ගේ දක්ෂතා දැක්වෙන්නේ තරග 25ක දී අර්ධ ශතක 4ක් සමඟින් ලබාගත් ලකුණු 524යි.

Harmanpreet Kaur (ඉන්දියාව)

37 හැවිරිදි වියේ පසුවෙන Harmanpreet Kaur ද දක්ෂතා සපිරි ඉදිරි පෙළ පිතිකාරිනියක් ලෙසින් හැඳින්වෙනවා. මේ දක්වා කාන්තා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ තරග 197කට සහභාගී වෙමින් ශතකයක් සහ අර්ධ ශතක 17ක් සමඟින් ලකුණු 4075ක් ලබා ඇති ඇය කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරග 39ක දී ලබා ඇති ලකුණු සංඛ්‍යාව 726ක්.

මෙම ලකුණු අතර ඇය ගේ විස්සයි විස්ස තරග පිටියේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව ද වෙනවා. ඒ 2018 වසරේ දී නවසීලන්තයට එරෙහි ව පන්දු 51ක දී හතරේ පහර 7ක් සහ හයේ පහර 8ක් සමඟින් ලබා ගන්නා ලද ලකුණු 103යි.

චමරි අතපත්තු (ශ්‍රී ලංකාව)

36 හැවිරිදි වියේ පසුවෙන චමරි අතපත්තු ද මෙවර කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ක්‍රීඩිකාවන් අතුරින් මුල් පෙළේ දක්ෂතා දක්වනු ඇතැයි බලාපොරොත්තු වන ක්‍රීඩිකාවක්.

පළමු ලෝක කුසලාන තරගාවලියේ සිට ම ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ඇය එහි තරග 32ක දී අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 711ක් ලබා සිටිනවා. ඒ අතර ඇය ගේ හොඳම ඉනිම බවට පත් ව තිබෙන්නේ 2023 වසරේ දී දකුණු අප්‍රිකාවට එරෙහි ව ලබා ගත් ලකුණු 68යි.

පන්දු යවන්නියක ලෙසින් ද දක්ෂතා දක්වන ඇය නිමා වූ ලෝක කුසලාන තරග 32ක ඉනිම 17ක දී පන්දු යවමින් ලබා ඇති කඩුලු සංඛ්‍යාව 13ක්.

කාන්තා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග ඉතිහාසයේ මෙතෙක් තරග 157කට සහභාගී වී ඇති චමරි අතපත්තු ඉනිම් 154ක දී ලකුණු 3752ක් ලබා සිටිමින් ලෝක විස්සයි විස්ස පිතිකාරිනියන් ගේ ලැයිස්තුවේ සිව් වැනි ස්ථානය දිනාගෙන තිබෙනවා. මේ ලකුණු අතරට මැලේසියාව (119*), ඕස්ට්‍රේලියාව (113) සහ ස්කොට්ලන්තය (102) යන කණ්ඩායම්වලට එරෙහි ශතක වාර්තා කරන ඇය තවත් අර්ධ ශතක 14ක් ද ලබා තිබෙනවා.

Sophie Devine (නවසීලන්තය)

36 හැවිරිදි වියේ පසුවෙන Sophie Devine මෙම ලැයිස්තුවේ තුන් ඉරියව්වෙන් ඉහළ ම දක්ෂතා දැක් වූ ක්‍රීඩිකාවන් අතුරින් පළමු වැන්නියයි.

මේ වෙද්දී කාන්තා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 154කට මුහුණ දී ඇති ඇය ලකුණු 3719ක් ලබා සිටින අතර ලබා ඇති කඩුලු සංඛ්‍යාව 128ක්. පිතිකාරිනියක් ලෙසින් ඇය ගේ ඉහළ ම දක්ෂතාව වෙන්නේ 2020 වසරේ දී දකුණු අප්‍රිකානුවන්ට එරෙහි ව ලබා ගත් ලකුණු 105යි. ඊට අමතර ව අර්ධ ශතක 24ක් ද ඇය ගේ ඉනිම් අතර තිබෙනවා.

දකුණතින් මඳ වේග පන්දු යවන ඇය මෙතෙක් දක්වන ලද ඉහළ ම දක්ෂතාව වෙන්නේ මේ වසරේ දී දකුණු අප්‍රිකානුවන්ට එරෙහි ව ලකුණු 12කට දවා ගත් කඩුලු 4යි.

2009 වසරේ සිට කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරග පිටියේ සිටින ඇය මේ වන විට තරග 38කට සහභාගී වෙමින් අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 702ක් ලබා සිටින අතර ලබා ඇති කඩුලු සංඛ්‍යාව 29ක්.

Stafanie Taylor (බටහිර ඉන්දීය කොදෙව්)

මෙම ලැයිස්තුවට එක් වෙන තවත් තුන් ඉරියව් ක්‍රීඩිකාවක ලෙසින් 34 වැනි වියේ පසුවෙන Stafanie Taylor නම් කළ හැකියි. ඇය මේ දක්වා කාන්තා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 134කට මුහුණ දෙමින් අර්ධ ශතක 22ක් සමඟින් ලකුණු 3576ක් ද සහ කඩුලු 98ක් ද ලබා සිටිනවා.

2009 වසරේ සිට නිමා වූ තරගාලිය දක්වා විස්සයි විස්ස ලෝක කුසලාන තරගමාලාවන්ට සහභාගී වූ ඇය තරග 35ක දී අර්ධ ශතක 6ක් සමඟින් ලකුණු 1014ක් සහ කඩුලු 33ක් ලබා සිටිනවා.

Beth Mooney (ඕස්ට්‍රේලියාව)

32 හැවිරිදි වියේ පසුවෙන වමත් පිතිකාරිනී Beth Mooney ලෝක කුසලාන තරගාවලියක් හා පළමු වරට එක් වෙන්නේ 2016 වසරේදීයි. එතැන් සිට ලෝක කුසලාන තරග 28කට ක්‍රීඩා කර ඇති ඇය අර්ධ ශතක 6ක් සමඟින් ලකුණු 752ක් ලබා සිටිනවා.

කාන්තා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ ඇය ගේ දක්ෂතාව ලෙසින් සටහන් වෙන්නේ තරග 118ක දී ලබා ගන්නා ලද ලකුණු 3545ක්. ඊට එංගලන්තයට සහ ශ්‍රී ලංකාවට එරෙහි ව ලබා ගන්නා ලද ශතක ද්විත්වයක් සහ තවත් අර්ධ ශතක 28ක් ද ඇතුලත්.

Danni Wyatt-Hodge (එංගලන්තය)

ලෝක කාන්තා පිතිකරණ ලැයිස්තුවේ 9 වැනි ස්ථානය හිමි 35 වැනි හැවිරිදි වියේ පසුවෙන Danni Wyatt-Hodge ද දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩිකාවක් ලෙසින් සැලකෙනවා.

මේ දක්වා කාන්තා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 180කට සහභාගී වී ඇති ඇය ඉන්දියාවට (124) සහ ඕස්ට්‍රේලියාවට (100) එරෙහි ව වාර්තා කරන ලද ශතක ද්විත්වයක් සහ අර්ධ ශතක 21ක් ද සමඟින් ලකුණු 3369ක් ලබා සිටිනවා.

විස්සයි විස්ස ලෝක කුසලාන තරග පිටියේ 2010 වසරේ සිට ක්‍රියාත්මක ඇය මේ දක්වා තරග 29කට සහභාගී වෙමින් අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 488ක් ලබා සිටිනවා.

දකුණතින් පිට දඟ පන්දු යවන ඇය, කාන්තා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දිවියේ ලබා ඇති කඩුලු සංඛ්‍යාව 46ක්. ඒ අතුරින් කඩුලු 6ක් වාර්තා වෙන්නේ ලෝක කුසලාන තරග 5ක පන්දු යවමිනුයි.

Hayley Matthews (බටහිර ඉන්දීය කොදෙව්)

මෙම ලැයිස්තුවට එක් වෙන ලාබාලත ම ක්‍රීඩිකාව වෙන්නේ Hayley Matthews. 28 වැනි වියේ පසුවෙන ඇය ද තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩිකාවක් ලෙසයි වර්ගීකරණයට ලක් ව තිබෙන්නේ.

2014 වසරේ සිට කාන්තා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ දක්ෂතා දක්වන ඇය මේ වන විට තරග 121කට සහභාගී වෙමින් ඕස්ට්‍රේලියාව (132), එංගලන්තය (100*) සහ අයර්ලන්තය (107*) කණ්ඩායම්වලට එරෙහි ව වාර්තා කරන ලද ශතක ත්‍රිත්වයක් සහ අර්ධ ශතක 21ක් සමඟින් ලකුණු 3237ක් ලබා සිටිනවා.

මේ ලකුණු අතුරින් ලෝක කුසලාන තරග 23ක ලකුණු 508ක් ඇති අතර ඊට එක් කරන ලද අර්ධ ශතක 4ක් ද එහි ඇතුලත්.

දකුණතින් පිට දඟ පන්දු යවන ඇය මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ ලබා ඇති කඩුලු සංඛ්‍යාව 120ක්. ඉන් කඩුලු 16ක් ඇය විසින් ලබා ගන්නේ කාන්තා ලෝක කුසලාන තරග 23ක ඉනිම් 20ක පන්දු යවමිනුයි.

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<