අගනුවර ක්‍රීඩකයෝ ලකුණු 146කට දැවී යයි

National Super League 4-Day Tournament 2026

3
National Super League 4-Day Tournament 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ 2 වැනි දිනය අවසන් වෙද්දී අගනුවර ක්‍රීඩකයන් අභිබවා ලකුණු 183ක් ඉදිරියෙන් පසු වීමට දඹුලු ක්‍රීඩකයෝ සමත් වෙනවා.  

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ දඹුල්ල ක්‍රීඩකයෝ තම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 222ක් ලබා සිටිය දී ඉනිම අත් හිටවූ අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ ක්‍රීඩකයන්ට තම පළමු ඉනිම වෙනුවෙන් ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 146ක් පමණයි.

>>අගනුවර ක්‍රීඩකයෝ ලකුණු 210ක් පිටුපසින්

පෙර දින පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පිළිතුරු ඉනිමට ක්‍රීඩා කරමින් සිටි අගනුවර ක්‍රීඩකයෝ කඩුලු 2ක් දැවී ලකුණු 12ක් ලබා සිටි අතර ඔවුන්ගේ 3 වැනි කඩුල්ල ඊට තවත් ලකුණු 13ක් එක් වෙද්දී දැවී යනවා. ඒ අනුව දිනයේ පළමුවෙන් ම දැවී ගිය ක්‍රීඩකයා බවට පත් වෙන්නේ ප්‍රභාත් ජයසූරියයි.

ඒ වෙද්දී ඔහු පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 19ක් ලබා සිටියා. ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව යැවුණ ඊළඟ පන්දුවේ දී ජනිත් ලියනගේ ද දැවී යන අතර ඒ වෙද්දී අගනුවර ඉනිම කියැවෙන්නේ කඩුලු 4ක් දැවී ලකුණු 25ක් ලෙසයි.

ඉන් අනතුරුව කොළඹ ඉනිමට තවත් ලකුණු 3ක් එක් වෙද්දී නුවනිඳු ද ප්‍රනාන්දු (4) ද දැවී යනවා. ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව කොළඹ ඉනිමට ගෞරවනීය ලකුණු පුවරුවක් එක් කිරීමට නායක චරිත් අසලංක සහ ශාරුජන් ශන්මුගනාදන් සමත් වෙනවා.

ඔවුන් දෙදෙනා එක් ව 6 වැනි කඩුල්ලට පන්දු 101ක දී ලකුණු 61ක සබඳතාවක් එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ චරිත් අසලංක ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යන විට පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 27ක් ලබා සිටියා.

අනතුරු ව ඉනිමේ 7 වැනි කඩුල්ල ලෙසින් ශාරුජන් ශන්මුගනාදන් ද දැවී යන අතර ඔහු තම ඉනිම අතහැර යද්දී පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 44ක් ලබා සිටියා.

ඔහු ගේ දැවී යෑමෙන් අනතුරු ව කවිජ ගමගේ පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 25ක් සහ දුශාන් හේමන්ත පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 14ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී 23 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් මඳ වේග පන්දු යවන කවිඳු පතිරන්ත ලකුණු 51කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව අකිල දනංජය ලකුණු 17කට කඩුලු 3ක් ද සහ නිසල අබේරත්න කඩුල්ලක් ද දවා ගත්තා.

ලකුණු 76ක් ඉදිරියෙන් සිටිමින් තම 2 වැනි ඉනිමට පිටියට පිවිසි දඹුල්ල ක්‍රීඩකයෝ තරගයේ 2 වැනි දිනය අවසන් වෙද්දී ලකුණු 183ක් ඉදිරියෙන් පසු වෙනවා.

ඔවුන්ගේ එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු නිශාන් මදුශ්ක. ඔහු පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 43ක් ලබා ගන්නවා. ඊට අමතර ව අනෙක් ආරම්භක පිතිකරු විශාද් රන්දික පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 21ක් ලබා සිටියා.

තරගය 2 වැනි දිනයට නතර වෙද්දී අංජල බණ්ඩාර ලකුණු 5ක් ලබා ගනිමින් නොදැවී පිටියේ රැඳී සිටි අතර කඩුලු දැවී ගැනීමේ දී දකුණතින් මඳ වේග පන්දු යවන චමෝද් බට්ටගේ ලකුණු 21කට කඩුලු 4ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

ඊට අමතර ව ප්‍රභාත් ජයසූරිය සහ ජනිත් ලියනගේ කඩුල්ල බැගින් දවා ගෙන සිටියා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • දඹුල්ල – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 222 (70.0)පවන් රත්නායක 39, විශාද් රන්දික 23, සොනාල් දිනූෂ 51, අංජල බණ්ඩාර 40, ධනංජය ලක්ෂාන් 2/42, ජනිත් ලියනගේ 2/18, ප්‍රභාත් ජයසූරිය 4/54
  • කොළඹ – පළමු ඉනිම සියලුම දෙනා දැවී 146 (5.3) ශාරුජන් ශන්මුගනාදන් 44, චරිත් අසලංක 27, කවිජ ගමගේ 25, කවිඳු පතිරත්න 5/51, අකිල දනංජය 3/17
  • දඹුල්ල –දෙවැනිඉනිම කඩුලු 6ක් දැවී 107 (34.3) නිශාන් මදුශ්ක 43, විශාද් රන්දික 21, චමෝද් බට්ටගේ 3/21  

දඹුල්ල කණ්ඩායම ලකුණු  183ක් ඉදිරියෙන්.

මෙම තරගයට හෙට (6) 3 වැනි දිනයට පැවැත්වේ.

National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<