නිමා වූ 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මැරතන් ඉසව්වේ දී රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ, ලොව පුරා සුප්‍රකට මැරතන් තරග රැසක දී ශ්‍රී ලාංකේය නාමය ඉහළින්ම බැබළ වීමට සමත් වූ ශ්‍රී ලාංකීය ක්‍රීඩිකාවකි හිරුණි විජයරත්න.

Photo Story- මලල ක්‍රීඩාවේ අනාගතයට කැපවෙන පඬුවස්නුවර පසිඳු

කොළඹ කිරුලපන ප්‍රදේශයේ උපත ලබා සාන්ත බ්‍රිජට් කන්‍යාරාමයෙන් ක්‍රීඩාවට පිවිසි, පසුව ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචියට යාමෙන් අනතුරුව මැරතන් ක්‍රීඩාවට යොමු වූ හිරුණි ජාත්‍යන්තර මැරතන් පිටියේ දස්කම් දක්වමින් මෙරට වාර්තා පවා බිඳ හෙළීමට සමත් වූ ඉතා දක්ෂ ක්‍රීඩිකාවකි. ලාංකීය මලල ක්‍රීඩා වාර්තාවන්ට අමතරව දකුණු ආසියානු වාර්තා පොත් අතර ද ස්ථානයක් දිනා ගන්නට ඇය සමත්ව ඇත.

මෙවර Photo Story ලිපිය වෙන් වන්නේ මේ වන විට ඔලිම්පික් තරගාවලියේ සුදුසුකම් ලැබීම අභියස සිටින හිරුණි විජයරත්න වෙනුවෙනුයි. 

1.පාසල් වියෙහි සිටම දිගුදුර පිටියේ දස්කම්

ඇමරිකා එක්සත් ජනපදයේ අධ්‍යාපන කටයුතුවල නිරත වූ හිරුණි එහි Virginia High School League හි පැවති ප්‍රාන්ත රට හරහා දිවීමේ තරගාවලියේ කාන්තා AAA Championship තරගය නියෝජනය කරමින් හත්වැන්නා ලෙස තරගය නිමා කිරීමට සමත් විය.

2.තරගාවලි වාර්තාවක් සමඟින් සිහිනයක් සපුරා ගැනීම 

2017 වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ පැවති සුප්‍රකට Eugene Marathon තරගය නියෝජනය කළ හිරුණි එහි දී පැය 2:43.31ක කාලයකින් තරගය අවසන් කරමින් 11 වැනි ස්ථානයත්, කාන්තා අදියරේ ප්‍රථම ස්ථානයත් දිනා ගැනීමට සමත් වෙමින් තරගාවලි වාර්තාවක් ද සමඟින් එම වසරේ පැවති ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

Photo Story – ආබාධ මතින් ජය කණුව කරා ගිය පානදුරේ වීරවරිය

 3.දීර්ඝ කාලීන ජාතික වාර්තාවක් 

2018 ඇමරිකා එක්සත් ජනපදයේ පැවති ඔරිගන් ප්‍රෝට්ලන්ඩ් මලල ක්‍රීඩා උළෙලේ දී මීටර් 10,000 ඉසව්ව නියෝජනය කළ ඇය මිනිත්තු 33:55:06කින් තරගය අවසන් කරමින් එම ඉසව්ව සඳහා පිහිටුවා තිබූ වසර 15ක් පැරණි ශ්‍රී ලංකා වාර්තාවක් බිද හෙළීමට සමත් විය.

4.බාධක මැද තරග අවසානයට 

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2018 වසරේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මැරතන් ඉසව්ව සඳහා සහභාගි වූ හිරුණි එහි දැඩි උෂ්ණත්වය වැනි බාධක සමඟ සටන් කරමින් පැය 2:49.38ක කාලයකින් ඉසව්ව අවසන් කර එකොලොස්වැන්නා බවට පත්විය..

5.ජාතික වාර්තා මල්ලට නව වාර්තාවක් 

2019 වසරේ පැවති Deseret News මැරතන් තරගාවලියේ මීටර් 10,000 මාර්ග තරගය මිනිත්තු 33:31:6ක කාලයකින් දෙවැන්නා ලෙස නිමා කරමින් එහි ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමට සමත් වූ ඇය එම තරගාවලියේම මීටර් 5,000 මාර්ග තරගය මිනිත්තු 16.02ක කාලයකින් අවසන් කරමින් එම ඉසව්වේ ජාතික වාර්තාව ද බිඳ හෙළීමට සමත් විය.

6.දකුණු ආසියානු වාර්තාවක් 

2019 ජර්මනියේ පැවති Düsseldorf Marathon තරගය සඳහා සහභාගි වූ හිරුණි එම තරගයේ දී කැපී පෙනෙන දස්කම් දක්වමින් පැය 2:34.10ක කාලයකින් ඉසව්ව අවසන් කරමින් රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය. ඇය විසින් වාර්තා කළ කාලය එම ඉසව්වට දකුණු ආසියානු තලයේ වාර්තා වූ හොඳම කාලය ලෙස ද සටහන් විය.

Photo Story – ඔලිම්පික් සිහිනයට පන පොවන හලාවත දිරිය දියණිය

7.ජාතික මලල ක්‍රීඩා පිටියේ මංගල ජයග්‍රහණය

මෙරට දේශීය මලල ක්‍රීඩා පිටියේ හිරුණි සහභාගී වූ මුල්ම තරගාවලිය වන 97 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ දී මීටර් 10,000 ඉසව්ව මිනිත්තු 35.30.0ක කාලයකින් අවසන් කරමින් ජාතික ශූරිය බවට ඇය අභිෂේක ලැබීය.

8.ජාතික ශූරිය අභිබවමින් දකුණු ආසියානු වරම් ලැබීම 

97 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 5000 තරගය සඳහා ද සහභාගි වූ හිරුණි එහි දී එම ඉසව්ව මිනිත්තු 16:54.9ක කාලයකින් අවසන් කරමින් ජයග්‍රහණය කළේ 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ද වරම් දිනා ගනිමිනි.

 9.ගුවනේ ප්‍රමාදය නිසා අහිමි වූ දකුණු ආසියානු පදක්කම 

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා නේපාලය වෙත පැමිණීමේ දී සිදු වූ ප්‍රමාද වීමක් නිසාවෙන් ආ විගසම මීටර් 10,000 තරගය සඳහා සහභාගි වූ හිරුණි එම තරගය සිව්වැන්නා ලෙස අවසන් කරන්නේ නිසැක පදක්කම් බලාපොරොත්තුවක් බොඳව යමිනි.

 10.දකුණු ආසියාවේ මැරතන් ශූරිය 

මැරතන් ධාවන ඉසව්වේ දකුණු ආසියානු වාර්තාවට හිමිකම් කියූ හිරුණි 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මැරතන් තරගය පැය 2:41:27ක කාලයකින් අවසන් කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූයේ දකුණු ආසියාවේ වේගවත්ම මැරතන් ධාවන ශූරිය තමන් බව තහවුරු කරමිනි.

මැරතන් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර තලය දිනෙන් දින ආක්‍රමණය කරන හිරුණි අනාගතයේ මෙරටට ඔලිම්පික් පදක්කමක් ගෙන ඒමට හැකියාවක් ඇති ඉතා දක්ෂ ක්‍රීඩිකාවකි. ක්‍රීඩා පිටියේ දී ඇය වෙත පැමිණෙන සියලූම බාධක ජය ගනිමින් ශ්‍රී ලාංකීය නාමය ඔලිම්පික් මැරතන් පිටියේ ඉහළින් රැඳවීමට ඇයට ශක්තිය ධෛර්යය ලැබේවායි ThePapare.com අප සුබ පතන්නෙමු.

තවත් Photo Story ලිපියක් සමඟින් හමුවෙමු. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් මලල ක්රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්රීඩා පිටුවට <<