2025/26 දේශීය රග්බි පිටිය තුළ සම්පූර්ණයෙන්ම අණසක පැතිරීමට CR & FC කණ්ඩායම සමත් වුනේ ඊයේ (07) දිනයේ දී Clifford කුසලානය ද ජය ගැනීමට සමත් වීමත් සමඟයි.
මෙවර Clifford කුසලාන පිළිමළුන් පිටු දැකීමේ තරගාවලියේ අවසන් පූර්ව තරග ද මෙම සතිය ආරම්භයේ දී ක්‍රියාත්මක වූ අතර, එම තරග ජය ගැනීමට CR & FC සහ Havelock කණ්ඩායම් විසින් සමත් වුනා.
CR & FC සහ ගුවන් හමුදාව (පළමු අවසන් පූර්ව තරගය)
මෙම තරගයේ පළමු අර්ධය සම්පූර්ණයෙන්ම පාහේ CR & FC ක්‍රීඩකයින්ට නතු වූ අතර, ඔවුන් එම කාල සීමාව තුළ උත්සාහක දිනුම් ත්‍රිත්වයක් සමඟ ලකුණු 22ක් වාර්තා කර ගැනීමට සමත් වුනා.
කෙසේ වෙතත් මෙම කාල සීමාව තුළ ගුවන් හමුදාව ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 07ක් පමණයි. කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධයේ දී ගුවන් හමුදාව ඉතා හොඳින් තරගයට අවතීර්ණ වෙමින් CR & FC වෙත හොඳ තරගයක් ලබා දීමට සමත් වුනේ තවත් ලකුණු 15ක් ලබා ගනිමිනුයි. මෙම කාල සීමාව තුළ CR & FC ක්‍රීඩකයින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 07ක් පමණයි.
මේ අනුව තරගයේ ජය CR & FC කණ්ඩායමට හිමි වුනත්, මෙම තරග වාරය පුරාවට ගුවන් හමුදාව දැක්වූ කැපී පෙනෙන දක්ෂතා ද අමතක කළ නොහැකි.
- CR & FC 29 (4T, 3C, 1P) – ගුවන් හමුදාව 22 (3T, 2C, 1P)
තරගයේ වීරයා – සෙනුර පෙරේරා (CR & FC)
මහනුවර සහ Havelock SC (දෙවන අවසන් පූර්ව තරගය)
මෙම තරගයට මහනුවර කණ්ඩායම ලීග් අනුශූරයින් ලෙස සහභාගී වූ අතර, තරගයේ පළමු අර්ධය තුළ ඔවුන් සිය සුපුරුදු දක්ෂතා දක්වමින් පහසුවෙන් ලකුණු 28ක් ලබා ගත්තේ, Havelock කණ්ඩායමට ලකුණු 12ක් පමණක් ලබා ගැනීමට අවස්ථාව ලබා දෙමිනුයි.
කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ Havelock ක්‍රීඩකයින් පෙර නොවූ විරූ දක්ෂතා සමඟින් තරගයට අවතීර්ණ වූ අතර, ඔවුන් එම අර්ධය තුළ ලකුණු 29ක් ලබා ගැනීමට සමත් වුනේ, මහනුවර කණ්ඩායමට ලකුණු 10ක් පමණක් ලබා දෙමිනුයි.
මේ අනුව තරගයේ ජය ද තමන් සතු කර ගැනීමට Havelock කණ්ඩායමට හැකියාව ලැබුණා.
- Havelock SC 41 (6T, 4C, 1DG) – මහනුවර 38 (5T, 5C, 1P)
තරගයේ වීරයා – ජනිඳු ප්‍රනාන්දු (Havelock SC)
- CR & FC තවමත් අපරාජිතයි; පොලිසියෙන් විශිෂ්ට නැගී සිටීමක්
- CR & FC නොනැවතී ඉදිරියට; මහනුවර නැවතත් සුපුරුදු රිද්මයට
- CR & FC ඉතිහාසගත ජයක් ලබමින් අපරාජිත ව ඉදිරියට
- CR & FC සහ මහනුවර අපරාජිත ගමනක; නාවික හමුදාව තවමත් ජයක් සොයයි
- මහනුවර, පොලිස්, CR&FC සහ Havelock ජයග්‍රාහීව තරගාවලිය අරඹයි
CR & FC සහ Havelock SC (අවසන් මහා තරගය)
මේ අනුව Clifford කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට Havelock සහ CR & FC කණ්ඩායම් සමත් වූ අතර, එම අවසන් තරගය ඊයේ සවස ක්‍රියාත්මක වුනා.
තරගය ආරම්භ වීමේ සිටම ඉතා උණුසුම් සහ කරට කර සටනක් කණ්ඩායම් දෙක විසින් ම ක්‍රියාත්මක කිරීමට සමත් වූ අතර, මෙහි දී CR & FC කණ්ඩායම දඬුවම් පහර දෙකක් සාර්ථක කර ගනිමින් ලකුණු 06ක් ලබාගන්නා අතරේ, Havelock කණ්ඩායම එක් දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් ලකුණු 03ක් ලබා ගැනීමට සමත් වුනා.
තරගයේ දෙවැනි අර්ධය ද පෙර අයුරින් ම ක්‍රියාත්මක වූ අතර, මෙහි දී CR & FC කණ්ඩායම තවත් දඬුවම් පහර දෙකක් සමඟ සිය මුළු ලකුණු ප්‍රමාණය 12ක් කර ගැනීමට සමත් වුනා. මේ අතර Havelock කණ්ඩායම මෙම තරගයේ වාර්තා වූ එකම උත්සාහක දිනුම වාර්තා කරමින්, එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගැනීමට සමත් වුනත්, එය තරගය ජය ගැනීමට තරම් ප්‍රමාණවත් වුනේ නැහැ.
- CR & FC 12 (4P) – Havelock SC (1T, 1C, 1P)
තරගයේ වීරයා – මුර්ශිඩ් සුබායර් (CR & FC)
මේ අනුව දේශීය රග්බි ලීගයෙන් අනතුරුව, Clifford කුසලානය ද තමන් සතු කර ගැනීමට CR & FC කණ්ඩායම විසින් සමත් වෙමින් දේශීය රග්බි පිටිය තුළ සිය නව ආධිපත්‍යය විදහා දැක්වීමට සමත් වී තිබෙනවා.
දේශීය රග්බි පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<





















