ශ්‍රී ලංකා කණ්ඩායමට ඕස්ට්‍රේලියාවේ සීතල ගැටලුවක් බව Silverwood පවසයි

T20 World Cup 2022

14939

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු Chris Silverwood විසින් තරගයේ ජයග්‍රහණය පිළිබඳ සිය අදහස් ප්‍රකාශ කළා.

ඊයේ (18) ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර පැවති තරගයෙන් ලකුණු 81ක පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. එහි දී ශ්‍රී ලංකාව සිය නියමිත පන්දුවාර විස්ස තුල ලබා ගත් ලකුණු 154 වෙනුවෙන් පැතුම් නිස්සංකගෙන් ලකුණු 73ක දායකත්වයක් ලද අතර, පිළිතුරු ඉනිම දියත් කළ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ලකුණු 73කට දවා ගැනීමට ශ්‍රී ලංකාව  සමත් වුනා. එහි දී දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංග කඩුලු තුන බැගින් බිඳ හෙළීමට සමත් වුනා.

තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වූ ශ්‍රී ලංකා පුහුණුකරු Chris Silverwood විසින් තරග ජයග්‍රහණය පිළිබඳ සිය අදහස මෙසේ ප්‍රකාශ කළා.

“ජයග්‍රහණයක් ලබනවා කියන එක පරාජය වීමකට වඩා අනිවාර්යයෙන්ම හොඳ දෙයක්. අපි අද තරගයේ දී හොඳින් දක්ෂතා දැක්වූවා. ඒත් අපි තව දියුණු කර ගත යුතු දේවල් තියෙනවා. අපි ඒ දේවල් ගැන ඉදිරියේ දී ගැඹුරින් සලකා බලනවා.

අපේ ක්‍රීඩකයින් අද හොඳින් ක්‍රීඩා කළා, පන්දු යවන්නන් ඉතාම හොඳින් පන්දු යැවුවා. ඒ වගේම පැතුම් ආරම්භක පිතිකරු ලෙස ඉතා අනර්ඝ ඉනිමක් ක්‍රීඩා කළා.”

එමෙන්ම තරගයේ සිය අවසන් පන්දුවාරය යොමු කරමින් සිටි දුෂ්මන්ත චමීරට සිය පන්දුවාර හතර නිමා කිරීමට එක් පන්දුවක් ඉතිරිව තිබිය දී කකුලේ ඇති වූ ආබාධ තත්වයක් නිසා පිටියෙන් ඉවත්ව යාමට සිදු වුනා. ඒ පිළිබඳ තවමත් (ඊයේ) හරි ප්‍රකාශයක් නිකුත් කළ නොහැකි බව පුහුණුකරු විසින් ප්‍රකාශ කළා.

“අපි ඔහු ගැන අවධානය යොමු කළ යුතුයි. අපේ වෛද්‍ය කණ්ඩායම් ඒ පිළිබඳ කටයුතු කරමින් පවතිනවා. හෙට උදේ ඔහුව ස්කෑන් පරීක්ෂණයකටත් යොමු කරාවි. අපි මුලින්ම නිවැරදි තොරතුරු ලබා ගත යුතුයි. ඉන්පසුව සැලසුම් සකස් කළ යුතුයි.”

නමුත් පසුව දැන ගැනීමට ලැබුණේ චමීරට මෙවර ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති බවයි.

තරගය ආරම්භය පෙර සිටම නෙදර්ලන්ත කණ්ඩායමේ දල ලකුණු ලබා ගැනීමේ වේගය ගැන අවධානය යොමු කළා ද යන්න සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක හතර පිතිකරණ ස්ථානය පිළිබඳ ඇති ගැටලුව පිළිබඳව ද Silverwood විසින් මෙලෙස සිය අදහස් ප්‍රකාශ කර සිටියා.

“ඔව්, ඇත්තෙන්ම අපි ඒ දේවල් ගැන (Net run rate) අවධානය යොමු කරනවා. නමුත් වැදගත්ම දේ වුනේ තරගය ජයග්‍රහණය කිරීමයි.

ඒ වගේම අංක හතර පිතිකරණ ස්ථානයෙන් අපිට ලකුණු අවශ්‍යයි. ඒ ගැටලුව ගැන අපි අවධානය යොමු කළා. අපේ පුහුණුකරුවන් සමඟ මේ ගැන සාකච්ඡා කළා. අපේ ක්‍රීඩකයින් ගොඩක් මහන්සි වෙලා පුහුණුවීම්වල යෙදෙනවා සහ මෙතන තියෙන්නේ පුහුණුවීම්වල මදිපාඩු කමක් නෙවෙයි.”

මෙවර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය පැවැත්වෙන ඕස්ට්‍රේලියාවේ මේ දිනවල පවතින සීතල කාලගුණය පිළිබඳව ද මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වෙනවා. ඒ පිළිබඳ සිය අදහස් එක් කළ Silverwood පවසා සිටියේ, තරමක් සීතල වැඩි වුනත් ඒ වෙනුවෙන් ක්‍රීඩකයින් තරගාවලියට පෙර සිටම සූදානම් කළ බවයි.

“ඇත්තටම මෙහේ උෂ්ණත්වය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අපේ ක්‍රීඩකයින්ට එය හුරුපුරුදු නැහැ. අනිවාර්යයෙන්ම එය කොළඹ වගේ නෙවෙයි. මටත් මෙහේ ටිකක් විතර සීතලයි.

නමුත් එය තරග පරාජය වීමට හේතුවක් කර නොගත යුතුයි. අපි ඒ වෙනුවෙන් සූදානම් වුනා, පහසුකම් සැලසුවා. මෙහාට (ඕස්ට්‍රේලියාවට) කලින් ආවා. මෙහේට එන්න කලින් අපි නුවර පුහුණු කඳවුරක් පවා පැවැත්වුවා.”

විස්සයි විස්ස ලෝක කුසලානයේ මූලික වටයේ A කාණ්ඩයේ සියලුම තරග පැවැත්වෙන්නේ ඕස්ට්‍රේලියාවේ Geelong හී GMHBA ක්‍රීඩාංගණයේ දීයි. එම ක්‍රීඩාංගණයේ ස්වාභාවය මෙන්ම හැඩය ද මේ දිනවල වැඩියෙන්ම කතා බහට ලක්වෙන තවත් එක කාරණයක්. ඒ පිළිබඳව මෙන්ම ක්‍රීඩාංගණයේ හැසිරීමට අනුගත වෙමින් තරග සැලසුම් නිර්මාණය කිරීම පිළිබඳව ද Chris Silverwood විසින් මෙසේ සිය අදහස් එකතු කළා.

“අපි අද තරගයේ දී හොඳින් ක්‍රීඩා කළා, නමුත් පළමු තරගයේ දී අපි ක්‍රීඩාංගණයේ තත්වය හරි හැටි කියවා ගෙන තිබුණේ නැහැ සහ ඒ නිසා අපිට ඒ අවස්ථා වෙනුවෙන් හොඳින් සූදානම් වෙන්න බැරි වුනා. ඒකේ හංගන්න දෙයක් නැහැ අපි අවංකවම ඒ වැරදි ගැන ගොඩක් ගැඹුරින් සාකච්ඡා කළා.

නමුත් අපි අද තරගයේ දී හොඳින් ක්‍රීඩා කළා. පිටිය තරමක් මන්දගාමී, ඒ වගේම පන්දුව වේගයෙන් පතිත කරද්දී, පන්දුවට මුහුණ දෙන්න තරමක් අසීරුයි. ඒ නිසා අපිට ඉවසීමෙන් ක්‍රීඩා කරන්න සිදු වුනා, සම්බන්ධතා ගොඩ නැගිය යුතුව තිබුණා. අද දවසේ දී අපි බොහෝමයක් වෙලාවට ඒ දේ හරියට කළා.

අපි හැමතිස්සෙම තරග ජයග්‍රහණය කරන්න බලාගෙනයි ඉන්නේ. මට අපේ ක්‍රීඩකයින්ගේ හැකියාව ගැන විශ්වාසයි. අපේ ප්‍රතිවාදී කණ්ඩායම්වලට ලැබිය යුතු ගෞරවය ලබා දෙන අතරේම ඉදිරියේ දීත් අද වගේම අපි හොඳින් ක්‍රීඩා කළ යුතුයි. මොකද මේ හැම කණ්ඩායමක්ම භයානකයි.”

ඊයේ දිනයේ පැවති තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Karthik Meiyappan විසින් සමත් වූ අතර, ඔහුගේ කඩුලු ත්‍රිත්වයට දායක වුනේ භානුක රාජපක්ෂ, චරිත් අසලංක සහ දසුන් ශානක යන තිදෙනායි. Silverwood විසින් Meiyappanට එම දක්ෂතාවය වෙනුවෙන් සුබ ප්‍රාර්ථනා කරන අතරේ දී ම, දසුන් ඔහුගේ තුන්වැනි කඩුල්ල ලෙස දැවී යාම සම්බන්ධයෙනුත් සිය අදහස් දැක්වූවා. එමෙන්ම එම කඩුලු ත්‍රිත්වය ශ්‍රී ලංකා ඉනිම බිඳ වැටීමට හේතුවක් නොවූ ආකාරය පිළිබඳව ද ඔහු පැහැදිලි කළා.

මුලින්ම ඔහුට (Karthik Meiyappan) සුබ පැතිය යුතුයි. ලෝක කුසලානයක දී කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීම ඔබට කිසිමදාක අමතක නොවෙන දෙයක්. දසුන් එහි ගොදුරක් වීම අවාසනාවන්ත සිදු වීමක්. නමුත් ඒ වෙද්දී අපිට හොඳ අඩිතාලමක් වැටිලයි තිබුණේ. ඒ වගේම අපිට හොඳ පිතිකරණ ලැයිස්තුවක් හිටියා.

අපිට කලින් තරගයේ අත්දැකීම් තිබුණා, ඒ වගේම අපේ තරගයට පෙර තරගය අපි බැලුවා. අපි දැනගෙන හිටියා මේක පහසු දෙයක් නොවන නමුත් අපිට හොඳ සබඳතා ගොඩ නගමින් 140කට එහා ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් නම් එය තරගකාරී ඉලක්කයක් වන බව.”

ශ්‍රී ලංකාව මූලික වටයේ මුහුණ දෙන අවසාන සහ තීරණාත්මක තරගය හෙට (20) නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතයි. එමෙන්ම එම තරගයෙන් ජයග්‍රහණය ලබා ගන්නා කණ්ඩායම සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටයට සුදුසුකම් ලබනු ඇති.

මෙවර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ නවතම තතු විත්ති ඔබ හා සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<