ශ්‍රී ලංකාව පැරීසියේ දී කුසලානය ජය ගනී

635

ශ්‍රී ලංකා ජාතික සත් සාමාජික රග්බි කණ්ඩායම ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වුණු පැරිස් ලෝක ක්‍රීඩා උළෙලට ‘ශ්‍රී ලංකා ලයන්ස්’ නමින් සහභාගී වූ අතර පසුගිය 7 හා 8 පැවති එම ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි තරගාවලියේ කුසලාන ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

මහනුවර නායක වීරරත්නත් පැරිස් යන සංචිතයට

එළඹෙන ආසියානු ක්‍රීඩා උළෙලට සූදානම් වීම සඳහා නවකයින් මෙන්ම අත්දැකීම් බහුල….

එළඹෙන ආසියානු සත් සාමාජික ශූරතාවලියට හා ආසියානු ක්‍රීඩා උළෙලට පෙර පුහුණුවක් ලෙස ශ්‍රී ලංකා සත් සාමාජික කණ්ඩායම පැරීසියට පිටත්ව ගිය අතර පැරීසියේ දී කිසිදු අපහසුවකින් තොරව තරග සියල්ල ජය ගැනීමට ඔවුන් සමත් විය.

කුසලාන ශූරතාවයේ අවසාන මහා තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ප්‍රංශ කණ්ඩායමක් වූ ‘Bagneux’ කණ්ඩායම හා තරග වැදුණු අතර ලකුණු 50-00ක් ලෙස දැවැන්ත ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. මේ තරගාවලියට ප්‍රංශ කණ්ඩායම් මෙන්ම ආසියානු හා අප්‍රිකානු කණ්ඩායම් ද එක්ව සිටියහ.

තරගාවලියේ පළමු වටයේ දී ‘Leopard Sevens’ කණ්ඩායම ලකුණු 41-10ක් ලෙස ද, ‘Club HEC’ කණ්ඩායම ලකුණු 25-00ක් ලෙස ද, ‘Ocean Sevens Bleu’ කණ්ඩායම ලකුණු 33-12ක් ලෙස ද පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.   

සිය කාණ්ඩයේ පළමු ස්ථානයේ පළමු වටය ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව තරගයේ දී ‘Ocean Seven rouge’ කණ්ඩායම හා තරග වැදී ජය ගත්තේ ‘Bagneux’ කණ්ඩායම සමඟ අවසන් මහා තරගය පිවිසීමේ වරම් දිනා ගනිමිනි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ තරගාවලිය එළඹෙන අගෝස්තු 30 වැනිදා ඉන්දුනීසියාවේ ජකර්තා හිදී ආරම්භ වන ආසියානු ක්‍රීඩා උළෙල වන අතර සාර්ථක ප්‍රංශ සංචාරයකින් අනතුරුව හෙට නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලංකා සත් සාමාජික කණ්ඩායම් ආසියානු ක්‍රීඩා උළෙල තෙක් සිය පුහුණුවීම් පවත්වා ගෙන යාමට නියමිතය.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<