ඉන්දියාවේ ගිය සුගන්ධිගෙන් ලංකාවට පදක්කමක්

ඉන්දියානු අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතාවය - 2021

228

මේ දිනවල ඉන්දියාවේ දී පැවැත්වෙන අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතාවයේ කාන්තා මීටර් 100 කඩුලු පැනීමේ ඉසව්වට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකා ලක්ෂිකා සුගන්ධි එහි දී ලෝකඩ පදක්කම දිනා ගැනීමට අද (25) සමත් වුනා.

ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියක් ලෙස පැවැත්වෙන මෙම තරගාවලියේ මීටර් 100 කාන්තා සහය දිවීමේ කණ්ඩායම නියෝජනය කිරීම සඳහා ලක්ෂිකා ඉන්දියාව වෙත පිටත් වූ නමුත් පසුව ඇයට සිය සුපුරුදු ඉසව්ව වූ කාන්තා මීටර් 100 කඩුලු පැනීමේ තරගයට සහභාගි වීමේ අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය කටයුතු කර තිබුණා.

ඒ අනුව එම තරගයට තරගය තත්පර 13.90ක කාලයකින් තෙවැන්නා ලෙස අවසන් කිරීමට සුගන්ධිට හැකි වුනේ මෙවර තරගාවලියෙන් ශ්‍රී ලාංකිකයෙකු ලබා ගත් පළමු පදක්කම ජය ගනිමින්.

තවත් මලල ක්‍රීඩා පුවත්:

එයට අමතර අද සවස් වරුවේ පැවති කාන්තා මීටර් 100 සහය දිවීමේ මූලික වටයෙහි තරගයට සහභාගී වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් දෙවැන්නා ලෙස තරගය අවසන් කරමින් අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

අමාෂා ද සිල්වා, ශෙලින්ඩා ජැන්සන්, මේධානි ජයමාන්න සහ Safiya Yamic යන යොවුන් ක්‍රීඩිකාවන් මෙම තරගයට සහභාගී වූ අතර මූලික වටයේ තරගය තත්පර 45.30ක කාලයකින් අවසන් කිරීමට ද ඔවුන් සමත් වුනා. මූලික වටයේ පළමු තැන දිනා ගත්තේ ඉන්දීය කණ්ඩායමයි (තත්පර 43.50). කාන්තා මීටර් 100 සහය දිවීමේ අවසන් තරගය ජුනි 29 වැනිදා (අඟහරුවාදා) පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ හෙට දිනයේ (26) පැවැත්වෙන කාන්තා මීටර් 100 තරගය සඳහා ජාතික ශූරී අමාෂා ද සිල්වා සහ යොවුන් ක්‍රීඩිකා ශෙලින්ඩා ජැන්සන් සහභාගී වීමට නියමිතව ඇති අතර එහි මූලික වටයේ තරග උදෑසන වරුවේ පැවැත්වීමට නියමිතයි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<