ශ්‍රී ලංකාව 2-0ක් ලෙස ටෙස්ට් තරගාවලිය ජය ගනී

Sri lanka Tour of Bangladesh 2024

77
Sri lanka Tour of Bangladesh 2024

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 192ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව අද (03) සමත් වුනා.

ඊයේ දිනයට තරගය නතර කරන විට ලකුණු 511ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් සිටි බංග්ලාදේශය සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 7ක් දැවී ලකුණු 268ක් ලබා ගැනීමට සමත් වී සිටියා.

අද දිනයේ දී ඔවුන්ට සිය ඉනිම සඳහා එක් කර ගැනීමට හැකියාව ලැබුණේ තවත් ලකුණු 50ක් පමණයි.

බංග්ලාදේශ දෙවැනි ඉනිම ලකුණු 318කට සීමා වන විට ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Mehidy Hasan Miraz නොදැවී ලකුණු 81ක් ලබා ගැනීමට සමත් වුනා.

මේ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ ලහිරු කුමාර කඩුලු 4ක් බිඳ හෙළද්දී, කමිඳු මෙන්ඩිස් කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා.

කමිඳුගේ මෙම දක්ෂතාව ද සමඟින් ඔහු තරගයේ වීරයා ලෙස ද නම් කෙරුණා.

මේ අනුව දෙරට අතර පැවැත්වුණු දීර්ඝ තරග සංචාරය මෙම තරගයේ නිමාවත් සමඟින් අවසන් වන අතර, ටෙස්ට් තරගාවලියේ සම්පූර්ණ ගෞරවය දිනා ගත් ශ්‍රී ලංකාව තරගාවලිය 2-0ක් ලෙස ඉතා පහසුවෙන් ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

එමෙන්ම මෙම තරගාවලි ජයග්‍රහණයත් සමඟින් ශ්‍රී ලංකාව ටෙස්ට් ලෝක ශූරතාව සඳහා වන සටනේ සිව් වැනි ස්ථානයේ පසු වනවා. මේ වන විට ඔවුන් තරග හතරක් ක්‍රීඩා කරමින් ඉන් තරග ද්විත්වයක් ජයග්‍රහණය කර ඇති අතර, ඒ අනුව ඔවුන්ට ලකුණු 24ක් හිමි වී තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<