47 වන අබ්දුල් ජබ්බාර් පලිහ කා හට ද?

927

සම්ප්‍රදායික ප්‍රතිවාදීන් වන කොළඹ ඉසිපතන විදුහල හා තර්ස්ටන් විදුහල අතර අබ්දුල් ජබ්බාර් පලිහ සඳහා වන වාර්ෂික මහා රග්බි තරගයේ දී 47 වන වරටත් එකිනෙකා හමුවීමට නියමිතයි. තරගය එළඹෙන සෙනසුරාදා (05) කොළඹ හැව්ලොක් පාක් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර අබ්දුල් ජබ්බාර් පලිහ පිළිබඳව ThePapare.com තබන සටහනකි මේ.     

A කාණ්ඩයට පියමන් කිරීමේ වටය ඇරඹේ

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ දෙවන හා අවසාන අදියර එළඹෙන මැයි මස ආරම්භ වීමට…..

අතීත මතක

තර්ස්ටන් විදුහල ක්‍රීඩාවේ ජ්‍යේෂ්ඨයා වෙමින් 1958 දී රග්බි ක්‍රීඩාව ආරම්භ කර ඇති අතර ඉසිපතන විදුහල 1963 දී රග්බි ක්‍රීඩාවට පිවිස තිබේ. 1963 දී දීපාල් සොයිසාගේ නායකත්වයෙන් තර්ස්ටන් විදුහල් රග්බි කණ්ඩයම ඉසිපතනය සමඟ ප්‍රථම වරට තරග වැදුණු අතර ලකුණු 06-03 තියුණු ජයක් හිමි කර ගැනීමට තර්ස්ටන් කණ්ඩයම සමත් විය.

වසර දෙකක ඇවෑමෙන් නැවත වරක් ආනා සරණපාලගේ නායකත්වයෙන් 1965 දී ඉසිපතනය, තර්ස්ටන් විදුහලට අභියෝග කළ අතර ජයග්‍රාහී මතකයන් ඉතිරි කරමින් ලකුණු 17-00ක් ලෙස තරගය ජය ගැනීමට ඉසිපතනය සමත් විය.

1967 දී තර්ස්ටන් විදුහලේ විදුහල්පතිව සිටි පී. එම්. ජයතිලක හා ඉසිපතන විදුහලේ විදුහල්පතිව සිටි කර්නල් ජී. ඩබ්ලිව්. රාජපක්ෂ යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් වාර්ෂික රග්බි තරගය මහා රග්බි තරගයක් බවට පත්කොට ජයග්‍රාහකයින්ට ලබා දෙන පලිහ “අබ්දුල් ජබ්බාර්” පලිහ ලෙස නම් කරන ලදි.

ඉතා ඉක්මනින් ප්‍රබල කණ්ඩයමක් බවට පත්වූ හැව්ලොක් ටවුමේ රග්බි බලකාය තරගාවලි ඉතිහාසය කොළ පැහැයෙන් වසා දමමින් අඛණ්ඩව වසර 36ක් අබ්දුල් ජබ්බාර් පලිහ ඉසිපතනයට රැගෙන යන්නට සමත් විය.

පෙරළිකාරී කණ්ඩයමක් සමඟින් පිටියට පිවිසුණු තර්ස්ටන් කණ්ඩයම 2005 වසරේ දී පළමු වරට පලිහේ පහස විඳීමට සමත් වූයේ නායක ෂේන් අරවින්දගේ අලංකාර උත්සාහක දිනුමත් සමඟ ලකුණු 15-06ක ලකුණු පුවරුවක් නිර්මාණය කරමිනි. මෙම ජයග්‍රහණයට පෙර තර්ස්ටන් විදුහලේ ජයග්‍රහණයට ආසන්නතම අවස්ථාව වූයේ 1975 දී පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමයි.

පාසල් රග්බි පිටියට ගොඩබහින්නට තර්ස්ටන් විද්‍යාලය සූදානමින්

ශ්‍රී ලාංකේය රග්බි ක්‍රීඩාවේ පාසල් රග්බි ක්‍රීඩාවට ඇත්තේ ප්‍රමුඛ ස්ථානයක්. ඒ ජාත්‍යන්තරයට පිය…..

2005 වසරෙන් පසු ගෙවුණු වසර කිහිපය තුල ඉසිපතන විදුහල තරගාවලිය සම්පූර්ණයෙන්ම සිය ග්‍රහණයට ගත් අතර මුල දී කරට කර අවසන් වූ තරග කෙමෙන් කෙමෙන් ඉසිපතනයට පහසු ජයග්‍රහණ ගෙන දෙමින් අවසන් විය.

2011 වසරේ දී දේවින්ද ප්‍රසාද්ගේ නායකත්වය යටතේ දී ලකුණු 70-06ක දැවැන්ත ලකුණු පුවරුවක් සටහන් කිරීමට ඉසිපතන ක්‍රීඩකයෝ සමත්වූ අතර 2012 වසරේ දී කුමේන්ද්‍ර ධර්මදාසගේ නායකත්වයෙන් ඉසිපතන ක්‍රීඩකයෝ 98-00ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් විය.

ඉසිපතන කණ්ඩයම සිය අතීත කණ්ඩයම් සමඟම ලකුණු රැස්කිරීමේ සටනක නිරත වූ අතර 2015 දී ඔමල්ක ගුණරත්නගේ නායකත්වයෙන් තරගයට පිවිසි ඉසිපතන බලකාය තරගාවලි ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් ලකුණු 105-00ක දැවැන්ත ලකුණු පුවරුවක් සටහන් කිරීමට සමත් විය.

අබ්දුල් ජබ්බාර් පලිහ හඳුන්වා දීමෙන් පසු මෙතෙක් පැවති තරග 46න් තරග 44ක ජයග්‍රහණය ඉසිපතනය හිමිකර ගනිද්දී, තර්ස්ටන් විදුහලට ජය ගත හැකි වූයේ එක් තරගයක් පමණි. එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර 1972, 2010, 2013 හා 2017 යන වසරවල දී තරගය පැවැත්වූයේ නැත.

යොවුන් ඉසිපතන ක්‍රීඩකයින් සහ අධිෂ්ඨානශීලී තර්ස්ටන් ක්‍රීඩකයින්

පෙර වසරවලට සාපේක්ෂව තරුණ ක්‍රීඩකයින් රැසක් සමඟින් ඉසිපතනය මෙවර ශූරතාවයට සහභාගී වන අතර ‘Center’ ස්ථානයේ ක්‍රීඩා කරන මනිල්ක රුබේරු මෙවර කණ්ඩයමේ නායකත්වය දරනු ඇත. 17 හැවිරිදි මනිල්ක මෙතෙක් සහභාගී වූ තරග පහෙන් තරග හතරක ජයග්‍රහණය සඳහා කණ්ඩයම මෙහෙය වීමට සමත් විය.

කිරුළේ අයිතිය නැවතත් හිමිකර ගන්නට සැරසෙන ඉසිපතන හරිත හමුදාව

ශ්‍රී ලංකා පාසල් රග්බි ඉතිහාසයේ පෙරළිකාර පාසල් අතරින් ප්‍රමුඛ පෙළේ පාසලක් වන කොළඹ ඉසිපතන…

‘Scrum half ’ ක්‍රීඩක චමත් කල්හාර හා ‘Fly half’ ක්‍රීඩක අංජන කුලසේකර ප්‍රථම තරග ද්විත්වයේ මෙන් නොව අවසාන තරග කිහිපයේ සිය රිද්මය හඳුනා ගෙන වේගවත් ක්‍රීඩා විලාසයක නිරත වීම ඉසිපතනයට අමතර වාසියක් වනු ඇත. ඉදිරිපෙළ මෙහෙයවමින් කණ්ඩයමේ උපනායකත්වය හොබවන නස්රාන් නිලමුදින් හට ඔහුට සහය වන ජනිත සේරසිංහ හා මෙවර තරග වාරයේ දක්ෂ ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ ‘No.08’ ක්‍රීඩක රවිඳු අංජුල සමඟින් තර්ස්ටන් ඉදිරිපෙළ මෙල්ල කිරීමේ වගකීම හිමිවනු ඇත.

B කාණ්ඩයේ ක්‍රීඩා කරන තර්ස්ටන් විදුහල ජයග්‍රහණ තුනක් හා පරාජයන් දෙකක් ලෙස ජයග්‍රහණ පරාජ සම සම අත්දැකීම් සමඟින් මෙවර තරගයට පිඹුරුපත් සකසන අතර සිය සම්ප්‍රදායික ප්‍රතිවාදීන්ට එරෙහිව හොඳ සටනක්, ලීග් රග්බි තරගාවලියේ දෙවන වටය සඳහා ඔවුන්ගේ මානසික මට්ටම ඉහළ දැමීමට හේතුවනු ඇත.

හිටපු සාන්ත පීතර ක්‍රීඩකයෙකු වන කොලින් දිනේෂ් තර්ස්ටන් විදුහලේ පුහුණුකරු ලෙස කටයුතු කරන අතර මොහොමඩ් රිස්කාන්ගේ නායකත්වයෙන් තර්ස්ටන් විදුහල් කණ්ඩයම මෙවර පිටියට පිවිසෙනු ඇත.

මලියදේවය අපරාජිතව රිච්මන්ඩ්වරු මෙල්ල කරයි

‘Singer’ පාසල් රග්බි ලීග් තරගාවලියේ ‘B’ කාණ්ඩයේ දෙවන කාණ්ඩය යටතේ කුරුණෑගල මලියදේව…..

’Center’ ස්ථානයේ ක්‍රීඩා කරන කවිෂ්ක වන්නිආරච්චි, අංජන හෙට්ටිආරච්චි හා පන්දුවට පා පහර දෙන ක්‍රීඩක තරුෂ ධර්මදාස කණ්ඩායමට ඉතා වැදගත් සම්පත් වනු ඇත.

ඉසිපතන පසුපෙළ ක්‍රීඩකයින් මේ වන විට සිටින රිද්මයට අනුව ඉසිපතන කණ්ඩායමට පැහැදිලි වාසියක් හිමිවී ඇති නමුත් අධිෂ්ඨානශීලී තර්ස්ටන් ක්‍රීඩකයෝ ඔවුන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කරනු නොඅනුමානයි.

දෙවන වටයේ තරගවලට මුහුණ දීම සඳහා කණ්ඩයම් දෙකටම මෙම තරගය ඉතා හොඳ පෙර පුහුණුවක් මෙන්ම මානසික මට්ටම ඉහළ දමා ගැනීමේ හොඳ පෙරහුරුවක් ද වනු ඇත.

ඔබට සිතෙන විදිහට මෙවර පලිහ ජයග්‍රහණය කරන්නේ ඉසිපතනය ද? තර්ස්ටන් ද? ඔබේ මතය පහළින් Comment කරන්න.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<