94 වැනි සුලෝහිත සංග්‍රාමය ජය පැරදුමෙන් තොරව අවසන්

The 94th Battle of the Maroons

105
The 94th Battle of the Maroons

කොළඹ ආනන්ද සහ නාලන්දා විද්‍යාල අතර 94 වැනි වරට පැවැත්වුණු සුලෝහිත සංග්‍රාමය අද (03) ජය පරාජයෙන් තොරව අවසන් වුනා.

කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දි ඊයේ (02) ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ආනන්ද විද්‍යාලය නායක ඉරුත් ගිම්ශාන් විසින් ජයග්‍රහණය කළ අතර ඔහුගේ ආරාධනය අනුව නාලන්දා විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමේ අභියෝගය බාර ගත්තා.

ඊයේ දිනය තුළ තරගයේ පළමු ඉනිම දියත් කළ නාලන්දා විද්‍යාලය විසින් සිය ලකුණු පුවරුවට ලකුණු 277ක් එක් කිරීමෙන් අනතුරුව සිය ඉනිම අත් හිටවීමට තීරණය කළා.

මෙහි දී නාලන්දා ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු සදෙව් සමරසිංහ ලකුණු 84ක් ලබා ගැනීමට සමත් වුනා. මෙහි දී සදෙව් සහ නායක සජිත විතානගේ විසින් ඉනිමේ සිව් වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 90ක් එක් කිරීමට සමත් වූ අතර, සදෙව් ගේ දැවී යාමෙන් පසුව පිටියට පිවිසි ඔසඳ පමුදිත, සජිත හා එක්ව ඉනිමේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 104ක් එක් කිරීමට සමත් වුනා.

ඔසඳ ලකුණු 31කට පිටියෙන් ඉවත් වීමෙන් පසුව පිටියට පිවිසි පසු පෙළ පිතිකරුවන් සමඟ ද එක් වෙමින් නාලන්දා ලකුණු පුවරුව ලකුණු 277ක් කරා රැගෙන ගිය නායක සජිත විශිෂ්ට ශතකයක් ලබා ගැනීමට සමත් වීමෙන් පසුව නාලන්දා ඉනිම නතර කිරීමට තීරණය කළා.

මෙහි දී පන්දු 179ක් වැය කරමින් ලකුණු 100ක් වාර්තා කළ සජිතගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 8ක් අන්තර්ගත වුනා.

ආනන්ද විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක් වූ අශින්ස නයිනායක කඩුලු 3ක් දවා ගත් අතරේ, කවීෂ මෙන්ඩිස් සහ යසිඳු කිරිඇල්ල කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වුනා.

නාලන්දයෙන් ලද ලකුණු 277ක ඉලක්කය වෙනුවෙන් ඊයේ සවස සිය පිළිතුරු ඉනිම ආරම්භ කළ ආනන්ද පිතිකරුවන් ඊයේ දිනය නිමා වන විට කඩුලු 2ක් දැවී ලකුණු 55ක් ලබා සිටියා.

එවන් තත්වයක් තුළ ආරම්භ වූ අද දිනයේ දී ආනන්ද විද්‍යාලය විසින් නාලන්දා පළමු ඉනිම අබිබවා යාමට සමත් වුනේ තවත් ජය පරාජයක් නොමැති තරගයක පළමු ඉනිමේ ජයක් තහවුරු කර ගනිමිනුයි.

ආනන්ද ඉනිමේ අංක තුන පිතිකරු ලෙස පිටියට පිවිසුණු දිනද අතලගේ ලකුණු 71ක් ලබා ගැනීමට සමත් වුනා. කෙසේ වෙතත් ආනන්ද ඉනිම ගෞරවාන්විත තත්වයක් කරා රැගෙන යාමේ වගකීමේ වැඩිම බරක් රැගෙන ගිය ක්‍රීඩකයා ලෙස ඉනිමේ අංක හය පිතිකරු කිත්ම විතානපතිරණ පන්දු 91ක් තුළ ලකුණු 73ක් ලබා ගැනීමට සමත් වුනා. මෙවර තරග වාරයේ කැපී පෙනෙන පිතිකරණ දක්ෂතා පෙන්වමින් සිටින කිත්ම සිය සුපුරුදු ක්‍රීඩා රටාව ක්‍රියාත්මක කරමින් දියත් කල මෙම ඉනිමට හතරේ පහර 11ක් සහ එක් හයේ පහරක් ද අන්තර්ගත වුනා.

කිත්ම සහ දිනද දෙදෙනා සමඟ එක් වූ අනෙක් ආනන්ද පිතිකරුවන් නාලන්දා පළමු ඉනිම අබිබවා යෑමට සමත් වීමෙන් පසුව ලකුණු 286 දී සිය පළමු ඉනිම නතර කිරීමට තීරණය කළා.

නාලන්දාව වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ ඔසඳ පමුදිත කඩුලු 3ක් සහ සනිතු විජේරත්න කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා.

ඒ අනුව අද දිනයේ සවස් බාගයේ දී සිය දෙවන ඉනිම ආරම්භ කළ නාලන්දා ක්‍රීඩකයින් කඩුලු 4ක් දැවී ලකුණු 120ක් ලබා සිටිය ද් සිය දෙවන ඉනිම අත්හිටවීමට තීරණය කළේ තරගය ද ජය පරාජයකින් තොරව නිමා වන අතරේ දීයි.

  • කොළඹ නාලන්දා විද්‍යාලය – 277/8d (78.2) සජිත විතානගේ 100*, සදෙව් සමරසිංහ 84, අශින්ස නයිනායක 3/80 & 120/4d (24) සදෙව් සමරසිංහ 43, මනුප මන්මිත 41, කවීෂ මෙන්ඩිස් 2/24
  • කොළඹ ආනන්ද විද්‍යාලය – 286/9d (79.4) කිත්ම විතානපතිරණ 76, දිනද අතලගේ 71, ඔසඳ පමුදිත 3/29 & 0/0

හොඳම පන්දු යවන්නා – කවීෂ මෙන්ඩිස් (ආනන්ද විද්‍යාලය)

හොඳම පිතිකරුවා – සදෙව් සමරසිංහ (නාලන්දා විද්‍යාලය)

හොඳම පන්දු රකින්නා – කිත්ම විතානපතිරණ (ආනන්ද විද්‍යාලය)

තරගයේ වීරයා – සජිත විතානගේ (නාලන්දා විද්‍යාලය)

දිනෙන් දින උණුසුම් වන පාසල් මහා ක්‍රිකට් තරග සංග්‍රාමයේ නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<