දම්සර සාන්තුවරයන්ගේ ශතක සමාජයට

90th Battle of the Saints

62

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර 90 වැනි වරටත් පැවැත්වෙන “මොරිස් ජේ. ලෙගෝ පියතුමන් අනුස්මරණ කුසලාන” සාන්තුවරයන්ගේ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (22) කොළඹ 7, සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී ආරම්භ වූවා.

එහි දී සාන්ත පීතර විද්‍යාලය නියෝජනය කරන ආරම්භක පිතිකරු ඩිලන දම්සර ශතකයක් වාර්තා කරමින් සාන්තුවරයන්ගේ සටන් ඉතිහාසයේ ශතකලාභීන්ගේ ලැයිස්තුවට එක් වීමට සමත් වීම කැපී පෙණුන අතර තරගය පළමු දිනයට නිමා වෙද්දී සාන්ත ජෝසප් විද්‍යාලයේ හිරුන් කපුරුබණ්ඩාර නොදැවී අර්ධ ශතකයක් ලබා සිටියා.

මෙම තරගයේ දී දෙවිදුහල් හී පළමු ඉනිම පන්දුවාර 60කට සීමා වන අතර ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් සාන්ත පීතර විද්‍යාලය එම කෝටාව සම්පූර්ණ කරන්නේ කඩුලු 9ක් දැවී ලකුණු 270ක් ලබා ගනිමිනුයි. තරගය පළමු දිනයට නතර කරන විට ඊට පිළිතුරු ලෙසින් සාන්ත ජෝසප් විද්‍යාලය කඩුල්ලක් දැවී ලකුණු 91ක් ලබා සිටියා.

Battle of the Saints, කොළඹ, 22 – 23 මාර්තු

o කාසියේ වාසිය – සාන්ත ජෝසප් විද්‍යාලය

o ක්‍රීඩාංගණය – සිංහල ක්‍රීඩා සමාජ පිටිය, කොළඹ 7

සාන්ත පීතර විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – විශේන් හැළඹගේ (නායක), ඔවීන් සල්ගාදු, ඩිලන දම්සර, රූසඳ ගමගේ, ශෙනන් රෝද්‍රිගෝ, ලශ්මික පෙරේරා, නේතන් ඩේවිඩ් (කඩුලු රකින්නා), ඉෂිර ආයුපාල, ජොෂුවා සෙබස්තියන්, අසදිස ද සිල්වා, රිතිල සුරවීර.

සාන්ත ජෝසප් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – ලහිරු අමරසේකර (නායක), අවීශ සමාෂ්, අභිශේක් ජයවීර, හිරුන් කපුරුබණ්ඩාර, හිරාන් ජයසුන්දර (කඩුලු රකින්නා), යෙනුල දේව්තුස, දුනික් පෙරේරා, දිනුක් සේරසිංහ, මානස මධුභාෂණ, රිශ්ම අමරසිංහ, සෙනුජ වෑකුණුගොඩ.

සාන්තුවරයන්ගේ 90 වැනි සටනේ ආරම්භය සනිටුහන් වූයේ සාන්ත පීතර විද්‍යාලයීය නායක විශේන් හැළඹගේ සහ සාන්ත ජෝසප් විද්‍යාලයීය නායක ලහිරු අමරසේකර විසින් කාසියේ වාසිය උරගා බැලීමත් සමඟිනුයි. ඉහළ ගොස් බිම වැටුණ කාසියේ වාසිය දිනා ගත් ලහිරු අමරසේකර විසින් පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව සාන්ත පීතර විද්‍යාලය සතු කළා.

ඒ අනුව ඔවුන්ගේ ඉනිම ආරම්භ කළේ ඔවීන් සල්ගාදු සමඟ ඩිලන දම්සරයි. සාන්ත ජෝසප් නායකයාගේ තීරණය අභියෝගයට ලක් කළ ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට කිසිදු අපහසුවකින් තොරව ලකුණු 108ක සබඳතාවක් එක් කළා. ඒ වෙනුවෙන් ඔවුන් දෙදෙනා වැය කළේ පන්දු 162ක් පමණයි.

එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ ඔවින් සල්ගාදු පන්දු 79කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 46ක් ලබා සිටියදී දැවී යෑමත් සමඟිනුයි.

නමුත් එතැන් සිට තරගයේ පාලනය සාන්ත ජෝසප් පන්දු යවන්නෝ සතු වූවා. ඔවුන් විසින් නායක විශේන් හැළඹගේ (8), රූසඳ ගමගේ (4) ෂෙනන් රොද්‍රිගෝ (14) සහ ලශ්මික පෙරේරා (9) යන බලාපොරොත්තු සහගත පිතිකරුවෝ අඩු ලකුණුවලට සිමා කිරීමට ඔවුන් සමත් වූවා.

ඒ වෙද්දී එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් පිටියේ නොදැවී රැදී සිටි ඩිලන දම්සර ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙසින් ලකුණු 103ක් ලබා සිටිය දී දැවී ගියා. ඔහුගේ ඉනිම පන්දු 150කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් ද එක් කිරීමට ඔහු සමත් වූවා.

ඩිලන දම්සර ගේ දැවී යෑමත් සමඟින් පිටියේ ක්‍රියාත්මක වූ නේතන් ඩේවිඩ් සහ ඉෂිර ආයුපාල 7 වැනි කඩුල්ලට පන්දු 53ක දී ලකුණු 50ක සබඳතාවක් එක් කරමින් සාන්ත පීතර ඉනිම නැවතත් ශක්තිමත් කරනවා.

එහි දී නේතන් ඩේවිඩ් පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 35ක් ද සහ ඉෂිර ආයුපාල පන්දු 33කට මුහුණ දෙමින් ලකුණු 21ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී යෙනුල දෙව්තුස ලකුණු 74කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව මානස මධුභාෂණ ලකුණු 69කට කඩුලු 3ක් දවා ගනිමින් ඔහුට අනගි සහයෝගයක් ලබා දෙනවා. අවීශ සමාශ් ද කඩුල්ලක් ද දවා ගනිමින් කඩුලුලාභින්ගේ ලැයිස්තුවට එක් වුනා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සාන්ත ජෝසප් විද්‍යාලයට ඔවුන්ගේ ඉනිම සිතූ ලෙස ගොඩ නැගීමට ප්‍රතිවාදීන් ඉඩ ලබා දුන්නේ නැහැ. ඉනිමේ 12 වැනි පන්දුවේ දී ඔවුන්ගේ පළමු කඩුල්ල බිඳ වැටෙනවා. ඒ වෙද්දී සාන්ත ජෝසප් විද්‍යාලයීය ලකුණු පුවරුව ලකුණු 7 නතර වී තිබුණා. ඊට බිලි වූයේ ලකුණු 4ක් ලබා සිටි අවීෂ සමාෂ්.

නමුත් 2 වැනි කඩුල්ලේ දී ස්ථාවර ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට අනෙක් ආරම්භක පිතිකරු අභිශේක් ජයවීර සහ අලුතෙන් කඩුල්ලට එක් වූ හිරුන් කපුරුබණ්ඩාර සමත් වූවා.

තරගය අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟින් ඇද වැටුණ වර්ෂාව හේතුවෙන් නතර කරද්දී ඔවුන් දෙදෙනා 2 වැනි කඩුල්ල වෙනුවෙන් නොදැවුණ ලකුණු  84ක සබඳතාවක් එක් කර තිබුණා.

එහි දී කැපී පෙණෙන ඉනිමක නිරත වීමට හිරුන් කපුරුබණ්ඩාර සමත් වූවා. ඔහු පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 53ක් ලබා ගත්තා. ඔහුත් සමඟින් නොදැවී පිටියේ රැදී සිටි අභිශේක් ජයවීර ලකුණු 23ක් ලබා සිටියේ පන්දු 70කට මුහුණ දෙමින්.

ඉනිමේ දැවී ගිය එක ම කඩුල්ලේ හිමිකාරීත්වය ජොසුවා සෙබස්තියන් සතු වූවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

සාන්ත පීතර විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 270 (60.0) ඔවීන් සල්ගාදු 46, ඩිලන දම්සර 103, නේතන් ඩේවිඩ් 35, ඉෂිර ආයුපාල 21, මානස මධුභාෂණ 3/69, යෙනුල දෙව්තුස 4/74

සාන්ත ජෝසප් විද්‍යාලය – පළමු ඉනිම කඩුල්ලක් දැවී 91 (22.3) අභිශේක් ජයවීර නොදැවී 23, හිරුන් කපුරුබණ්ඩාර නොදැවී 53

මෙම තරගය හෙට (23) දෙවැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මකයි.

දෙස්- විදෙස් ප්‍රචලිත මෙම තරගයේ පන්දුවෙන් පන්දුව සජීවී අත්දැකීම් Dialog Television හී ThePapare TV HD නාලිකා අංක 126 සුසර කර ගැනීමෙන් මෙන්ම, ThePapare.com සහ Dialog ViU App ඔස්සේ ද නැරඹීමට ඔබට පහසුකම් සපයා තිබෙනවා.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<