මාතොට නිලට බැබලෙන “රුහුණු නිල් මහා සටන”

124th Battle of the Blues Ruhuna

226
124th Battle of the Blues Ruhuna

මාතර සාන්ත සර්වශස් විදයාලය සහ සාන්ත තෝමස් විද්‍යාලය අතර 124 වැනි වරටත් පැවැත්වෙන “රුහුණු නිල් මහා සටන” වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 22, 23 සහ 24 තුන් දින මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. 

1900 වසරේ දී ආරම්භ වී ඇති මෙම තරගය මෙරට වාර්ෂික මහා ක්‍රිකට් තරග අතර පැරණිතම තරග අතුරින් තෙවැනි ස්ථානයේ පසු වෙනවා. එහි පළමු ස්ථානය 1879 දී ආරම්භ වූ කොළඹ රාජකීය සහ ගල්කිස්ස සාන්ත තෝමස් නිල් මහා සටනටත් සහ දෙවැනි ස්ථානය 1893 දී ආරම්භ වු මහනුවර ධර්මරාජ සහ කිංස්වුඩ් විද්‍යාලාන්තර කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමයටත් හිමි වෙනවා. කෙසේ වෙතත් අඛණ්ඩව පැවැති තරග අතර මෙම තරගය දෙවැනි වන්නේ කොළඹ නිල් සටනට පමණයි. ඒ කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමය මේ වසරේ දී ක්‍රියාත්මක වන්නේ 117 වැනි වරට වන බැවිනුයි.    

කෙසේ වෙතත් මෙම වාර්ෂික මහා ක්‍රිකට් තරගය මීට පෙර රුහුණු මහා සටන ලෙසත් සහ නිල්වලා සටන ලෙසත් ඉතිහාසයට එක් ව තිබෙනවා.  

දකුණු පළාතේ තුන් දින තරගයක් ලෙසින් ක්‍රියාත්මක එක ම වාර්ෂික මහා ක්‍රිකට් තරගය වන්නේ ද මෙය පමණක් වන අතර ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ මාතර දිස්ත්‍රික්කයෙන් පළමු පෙළ ක්‍රීඩා කරන එක ම කණ්ඩායම් දෙක වන්නේ ද ඔවුන් වීමත් විශේෂත්වයක්.  

රුහුණු නිල් සටන් ඉතිහාසයේ දී මෙතෙක් සාන්ත තෝමස් විද්‍යාලය අවස්ථා 32ක දී ද සහ සාන්ත සර්වේශස් විද්‍යාලය අවස්ථා 27ක දී ද ජයග්‍රහණ වාර්තා කරගෙන තිබෙනවා.  

අවසන් වරට ජයග්‍රහණයක් වාර්තා කරගෙන ඇත්තේ 2007 වසරේ දී තාරක දුශාන්ත ගේ නායකත්වයෙන් යුත් සාන්ත තෝමස් විද්‍යාලයයි. සාන්ත සර්වේශස් විද්‍යාලය අවසන් වරට ජයග්‍රහණයක් වාර්තා කරන්නේ මීට වසරේ 53කට පෙර නිමල් මුනවීරගේ නායකත්වයෙන් යුත් 1971 වසරේදීයි.  

ඒ අනුව මෙවර තමන් සන්තක රුහුණු නිල් මහා සටන් කුසලානය තව දුරටත් රැක ගැනීම එක ම අභිප්‍රාය කර ගනිමින් සිව් වැනි වසරේ වර්ණලාභී ක්‍රීඩක නවිජ ද සේරම් ගේ නායකත්වයෙන් යුත් සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායම පිටියට පිවිසෙනු ඇති අතර ඔහුගේ සහායකයා වන්නේ පෙසඳු සංජන. 

එමෙන් ම ආසන්නත ම වසරේ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ Tier B කොටසේ ජයග්‍රාහයන් වීමේ ගෞරවය ලද සාන්ත සර්වේශස් ක්‍රීඩකයෝ මෙම තරගයට පිවිසෙන්නේ දශක 5ක් තිස්සේ නොලද රුහුණු නිල් මහා සටන් කුසලානය රැගෙන යෑමේ අරමුණෙන්. එහි දී සාන්ත සර්වේශස් විද්‍යාලය මෙහෙයවීමේ වගකීම 5 වැනි වසරේ වර්ණලාභී ක්‍රීඩකයෙක් වන දිනුරු අබේවික්‍රමසිංහ සතුව ඇති අතර ඔහුගේ ආසන්නතම සහායකයා වන්නේ විශ්ව සුපුන්.  

සාන්ත සර්වේශස් විද්‍යාලය 

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ Tier A කාණ්ඩය නියෝජනය කරන සාන්ත සර්වේශස් ක්‍රීඩකයෝ මෙවර තරගාවලියේ දී ද දක්ෂතම කණ්ඩායම් අතර සිටීමට සමත් වෙනවා. 

රුහුණු නිල් මහා සටනට එක් වෙන සාන්ත තෝමස් විද්‍යාලයේ වඩාත් බලාපොරොත්තු සහගත ක්‍රීඩකයා බවට පත් ව ඇත්තේ නායක දිනුරු අබේවික්‍රමසිංහ. ඔහු මෙවර තරගාවලියේ දී ශතක 2ක් සහ අර්ධ ශතක 5ක් ද සමඟින් ලකුණු 900ක් ඉක්මවා ලබා සිටීනවා. ඔහු ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ යොවුන් සංචිතයේ සිටි ක්‍රීඩකයෙක් ද වන බැවින් ඔහු කෙරෙහි තබා ඇති මේ විශ්වාසය තවත් තීව්‍ර වෙනවා.  

කණ්ඩායමේ උප නායක විශ්ව සුපුන්, මෙවර තරගයට එක් වෙන්නේ පසුගිය වසරේ පැවැති රුහුණු නිල් මහා සටනේ දී ශතකයක් ලබා ගැනීමේ ගෞරවයත් සමඟයි. එමෙන් ම ඔහු නිමා වූ වයස අවුරුදු 17න් පහළ සුපිරි පළාත් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් ද සම්මානයට පත් වීමේ ගෞරවය ද සතුයි. ඔහු නිමා වූ තරගාවලියේ දී ලකුණු 600ක් ඉක්මවා ලබා ගෙන තිබෙනවා.  

කණ්ඩායමේ කඩුලු රැකීමේ වගකීමෙන් යුත් චමරිඳු නෙත්සර මෙවර තරගාවලියේ දී ශතකයක් සහ අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 700ක් ඉක්මවා ලබා ගනිමින් පිතිකරු ලැයිස්තුවේ සුවිශේෂී ස්ථානයන් අතර සිටිනවා.  

කණ්ඩායමේ ප්‍රධාන දඟ පන්දු යවන්නා වන්නේ විරාන් චමුදිත. ඔහු නිමා වු තරග වසරේ දී කඩුලු 53ක් දවා ගනිමින් දක්ෂතා දක්වන අතර ඊට  කුරුණෑගල මලියදේව විද්‍යාලයට එරෙහිව ලකුණු 54කට ලබා ගන්නා ලද කඩුලු 8ක් ද ඇතුලත්. එය මෙවර තරගාවලියේ දී සාන්ත සර්වේශස් විද්‍යාලය වෙනුවෙන් පන්දු යවන්නෙක් දැක් වූ ඉහළ ම දක්ෂතාවයි.  

ඔහු පිතිකරුවෙක් ලෙසින් ද දක්ෂතා දැක්වීමට සමත් වූ අතර එහි දී අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 600ක් ඉක්මවා ලබා ගැනීමට ඔහු සමත් වෙනවා.  

ඊට අමතර ව රවීන් කවින්ත පිතිකරුවෙක් ලෙසින් ලකුණ 400ක් ද සහ පන්දු යවන්නෙක් ලෙසින් කඩුලු 33ක් ද දවා ගනිමින් තුන් ඉරියව් ක්‍රීඩකයන් අතරට එක් වීමට ද සහ රිසිනු කිත්මුක ලකුණු 300ක් ඉක්මවා ලබා ගනිමින් පිතිකරුවෙක් ලෙසත් සහ සනී දුල්ශාන් කණ්ඩායමේ සිටින ප්‍රධාන වේග පන්දු යවන්නා ලෙසින්  කඩුලු 25ක් දවා ගනිමිනුත් කණ්ඩායමේ විශ්වාස දිනා සිටිනවා.

සාන්ත සර්වේශස් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: දිනුරු අබේවික්‍රමසිංහ (නායක), විශ්ව සුපුන් (උප නායක), බිනාල් නෙත්මක, රවීන් කවින්ත, විරාන් චමුදිත, අහමඩ් සජිඩ්, ඉවාන් සොලබිට්ස්කි, චමරිඳු නෙත්සර, රිසිනු කිත්මුක, චලන ඉන්දුස, සනී පෙරේරා, හේෂාන් මධුශංක, ශලිඳු නඳුශාන්, ගෙවින් සසංක, ඔෂද නවරත්න, සංජු ඩිල්ශාන්, චමෝද් මිහිරංග, ප්‍රනීන් මිහිරංග. 

එච්. කේ. එල්. බී. විරාජිත් (විදුහල්පති), ඉන්දික ධීරසිංහ (උප විදුහල්පති), රුවිනි රූබසිංහ (ක්‍රීඩා පරිපාලක), හංස සඳරුවන් (ක්‍රිකට් භාර ආචාර්ය), පී. අයි. ඩබ්ලිව්. ජයසේකර (ප්‍රධාන පුහුණුකරු), ප්‍රියන්ත අබේසේකර (පුහුණුකරු), චරිත් දයාරත්න (සහාය පුහුණුකරු). 

සාන්ත තෝමස් විද්‍යාලය 

සාන්ත තෝමස් විද්‍යාලය මෙවර පාසල් ක්‍රිකට් තරග මාලාවේ දී තරග 13කට එක් වෙන අතර ඉන් මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට එරෙහිව සහ වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලයට එරෙහිව ජයග්‍රහණ වාර්තා කරන ලද අතර කොළඹ මහානාම විද්‍යාලයට සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට හමුවේ පරාජයට පත් වෙමින් තරග අවසන් කරනවා. සෙසු තරග නිමා වෙන්නේ විසඳුමකින් තොරවයි.  

එම තරග සමයේ දී කණ්ඩායමේ වඩාත් දක්ෂතා දැක් වූ ක්‍රීඩකයා බවට පත් වෙන්නේ උප නායක උප නායකයා වන පෙසඳු සංජාන්. දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් කණ්ඩායම හා එක් වූ ඔහු නිමා වූ තරග සමයේ දී තරග 12ක දී පිතිකරුවෙක් ලෙසින්  අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 600ක් ද සහ කඩුලු 30ක් ද දවාගෙන තිබෙනවා. 

කණ්ඩායමේ නායක නවිජ ද සේරම් ද ලැයිස්තු ගත වෙන්නේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයෙක් ලෙසයි. ඔහු නිමා වූ තරග වසරේ දී පිතිකරුවෙක් ලෙසින් ලකුණු 279ක් ද සහ කඩුලු 37ක් ද ලබා ගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා.  

ඊට අමතර ව ජිමුත් ඉද්මල්ගොඩ පිතිකරුවෙක් ලෙසින් ලකුණු 350කට ආසන්නව සහ කඩුලු 14ක් ද මෙන් ම ලෝෂිත ඩික්සිත් ලකුණු 250කට ආසන්නව සහ කඩුලු 8ක් ද දවා ගනිමින් කණ්ඩායම හා එක් වෙනවා.  

පිතිකරුවන් අතර අබ්දුල් මජීඩ් සහ ඔවින්ත චාමික ද ලකුණු 300කට ආසන්න රැස් කරමින් කණ්ඩායමේ විශ්වාසය දිනා තිබෙනවා.

සාන්ත තෝමස් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: නවිජ ද සේරම් (නායක), පෙසඳු සංජන (උප නායක), සෙනුර පෙරේරා, ලක්ෂිත ඩික්ෂිත්, කේ. එම්. ටී. පිවිතුරු, අබ්දුල් මජීඩ්, කුමේෂ් නුවන්ජනා, දුමිඳු ශාක්ෂර, දිනත් සංචිත, එම්. ඩබ්ලිව්. පී. ප්‍රමුදිත, එස්. එස්.එස්. මෙත්පහන්, ඔචින්ත චාමික, ජේ. පී. ශෂින්ඳු, කන්සිලු ගිම්හාන්, භානුක ඉන්සමාම්, සේනුර අබේසේකර, මනුග යොනාල්, අයි. ජේ. ඩී. පී. දිසානායක, තත්සර දෙව්මිත්, යොමිරු සස්වින්. 

පී. ඒ. වීරක්කොඩි (විදුහල්පති), ටී. එල්. දයාශාන්ත (නියෝජ්‍ය විදුහල්පති), දිලිප් කුමාර (ක්‍රීඩා භාර ආචාර්ය), අසංග ද සිල්වා (ක්‍රිකට් භාර ආචාර්ය), යොහාන් ලක්රුවන් (ක්‍රිකට් භාර ආචාර්ය – කණිෂ්ඨ) දිනූෂ ජයසංඛ (ප්‍රධාන පුහුණුකරු), සචිර රශ්මික (සහාය පුහුණුකරු), තරුෂ සමරසිංහ (සහාය පුහුණුකර). 

දෙවිදුහල් අතර පැවැත්වෙන් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය මේ මස 30 වැනිදා උයන්වත්ත ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට යෝජිතයි.  

124 වැනි රුහුණු නිල් මහා සටනට එක් වෙන සාන්ත සර්වේශස් විද්‍යාලයට සහ සාන්ත තෝමස් විද්‍යාලයට ThePapare.com හී සුබ පැතුම්! 

තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව වන ThePapare.com සමඟින්.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<