සාන්තුවරයෝ 90 වැනි වරටත් ගැටෙයි

69
90th Battle of the Saints Preview

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර 90 වැනි වරටත් පැවැත්වෙන “මොරිස් ජේ. ලෙගෝ පියතුමන් අනුස්මරණ කුසලාන” සාන්තුවරයන්ගේ සටන වාර්ෂික මහා ක්‍රිකට් ගැටුම මේ මස 22 සහ 23 දෙදින කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැත්වේ.  

මෙම තරගයේ දී සාන්ත ජෝසප් විද්‍යාලය මෙහෙයවීමේ වගකීම 5 වැනි වසරේ වර්ණලාභී ලහිරු අමරසේකර විසින් ද සාන්ත පීතර විදයාලය මෙහෙයවීමේ වගකීම ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ යොවුන් කණ්ඩායම නියෝජනය කළ විශේන් හැළඹගේ ද සතු වෙනවා. 

මේ දක්වා පැවැති තරග අතුරින් 12 වතාවක් සාන්ත ජෝසප් විද්‍යාලය ජයග්‍රහණය කර ඇති අතර සාන්ත පීතර විද්‍යාලය මෙතෙක් දිනා ඇත්තේ 10 වතාවක් පමණයි. අවසන් වරට සාන්තුවරයන්ගේ සටන ජයග්‍රහණය කර තිබෙන්නේ 2016 වසරේ දී වන අතර එහි ගෞරවය විනූ මොහොට්ටිගේ නායකත්වයෙන් යුත් සාන්ත පීතර විද්‍යාලය සතු වෙනවා. සාන්ත ජෝසප් විද්‍යාලය අවසන් වරට මෙම වාර්ෂික මහා ක්‍රිකට් තරගයක් ජයග්‍රහණය කර තිබෙන්නේ 2008 වසරේදී රුවන්ත ප්‍රනාන්දුපුල්ලේ ගේ නායකත්වය යටතේයි 

මෙරට ජාතික ක්‍රිකට් පිලට ක්‍රීඩකයන් රාශියක් දායාද කළ විදුහල් දෙකක් ලෙසින් ද සාන්තුවරයන්ගේ සටනට එක් වෙන සාන්ත ජෝසප් විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය හැඳින්විය හැකියි.  

ඒ අනුව සාන්ත ජෝසප් විද්‍යාලය නියෝජනය කළ ක්‍රීඩකයන් අතර ඈෂ්ලි ද සිල්වා, චමින්ද වාස්, දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා,  මයිකල් වැන්ඩොට්, රොෂේන් සිල්වා, සදීර සමරවික්‍රම සහ දුනිත් වෙල්ලාලගේ ද සිටිනවා.  

රෝයි ඩයස්, ඩේවින් හයින්, විනෝදන් ජෝන්, ටෝනි ඕපාත, රුමේෂ් රත්නායක, අමල් සිල්වා, රසල් ආනල්ඩ්, කෞෂාල් ලොකුආරච්චි, මලින්ද වර්ණපුර, ඇන්ජලෝ පෙරේරා, ඇන්ඩ්‍රි බෙරෙන්ජර්, දුශාන් හේමන්ත සහ ජනිත් ලියනගේ සාන්ත පීතර විද්‍යාලය නියෝජනය කරමින් ජාතික කණ්ඩායම දක්වා පැමිණි ක්‍රීඩකයන් අතර පෙරමුණ ගන්නවා.  

එමෙන් ම මෙම තරගයේ දී මෙවර ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ යොවුන් කණ්ඩායම නියෝජනය කළ වැඩිම පිරිසක් සහභගී වීම ද විශේෂත්වයක්. එහි දී සාන්ත පීතර විද්‍යාලය නියෝජනය කරමින් විශේන් හැළඹගේ සහ රූසඳ ගමගේ ද සාන්ත ජෝසප් විද්‍යාලය නියෝජනය කරමින් හිරුන් කපුරුබණ්ඩාර තරගාවලිය හා එක් වූනා. ඊට අමතර ව එම විද්‍යාලයේ ම හිරාන් ජයසුන්දර අතිරේක ක්‍රීඩකයෙක් ලෙසින් තරගාවලියට එක් වුනා. 

සාන්ත ජෝසප් විද්‍යාලය 

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ Tier A කොටසෙන් තරගාවලියට එක් වූ සාන්ත ජෝසප් විද්‍යාලය මෙ කාණ්ඩයේ තරගකාරී කණ්ඩායමක් ලෙසින් හැඳින්වූවා.  

ඔවුන් මෙම වසරේ දී පූර්ණ ජයග්‍රහණ ලබා ගන්නේ එක් තරගයක දී පමණක් වූව ද ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් සුවිශේෂී දක්ෂතා දැක් වීම කැපී පෙණුනා.  

එහි දී ඉදිරියෙන් ම සිටින්නේ හිරාන් ජයසූන්දර. ඔහු මෙවර තරගාවලියේ දී තරග 10ක ඉනිම් 13ක දී ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව 660ක්. එහි සාමාන්‍ය 60.00 තබා ගැනීමට ද ඔහු සමත් වෙනවා. 

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට එරෙහිව ලකුණු 212ක් ලබා ගනිමින් කණ්ඩායමේ එක ම ද්විත්ව ශතකලාභියා බවට ද පත් වෙන හිරාන් ජයසුන්දර එම ද්විත්ව ශතකය සහ තවත් ශතක 2ක් සහ අර්ධ ශතකයකින් තම ඉනිම වර්ණවත් කර ගන්නවා. 

එමෙන් ම සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් දක්ෂතා දැක් වූවන් අතර යෙනුල දෙව්තුස ද සිටිනවා. ඔහු පිතිකරුවෙක් ලෙසින් තරග 14ක ඉනිම් 16ක දී අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 509ක් ලබා ගන්නවා. ඊට අමතර ව ප්‍රධාන පන්දු යවන්නෙක් ලෙසින් ද කටයුතු කරන ඔහු ලබා සිටින කඩුලු ප්‍රමාණය 42ක්.  

එම ලැයිස්තුවට ඊට පසුව එක් වෙන්නේ අභිශේක් ජයවීර. ඔහු තරග 14ක ඉනිම් 17ක දී ශතකයක් සහ අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 478ක් ලබා ගන්නවා. එමෙන් ම සෙනුජ වැකුණුගොඩ තරග 13ක ඉනිම් 14ක දී අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 472ක් ද ලබා ගනිමින් කැපී පෙණෙන පිතිකරුවන් බවට පත් වුනා.  

ඊට අමතර ව සාන්ත ජෝසප් විද්‍යාලයීය පිතිකරු ලැයිස්තුව ශක්තිමත් කරන්නෝ ලෙසින් තරග 14ක ඉනිම් 16ක දී ශතකයක් සහ අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 372ක් ලබා ගත් රිස්ම අමරසිංහ ද, තරග 8ක ඉනිම් 11ක දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 310ක් ලබා ගත් හිරුන් කපුරුබණ්ඩාර ද සහ ලකුණු 172ක් ලබා ගත් මානස මධුභාෂණ ද හැඳින් වෙනවා.  

තරගයේ සුවිශේෂී ම පන්දු යවන්නා බවට පත් ව සිටින්නේ නායක ලහිරු අමරසේකර. ඔහු නිමා වූ පාසල් ක්‍රිකට් තරගාවලියේ දී කඩුලු 54ක් ලබා සිටින අතර පිතිකරුවෙක් ලෙසින් ද ලකුණු 164ක් ලබා සිටිනවා.  

ඊට අමතර ව පන්දු යැවීමේ දී ඩේමියන් සිල්වා කඩුලු 25ක් දවා ගනිමින් විශ්වසනීය පන්දු යවන්නෙක් බවට පත් ව සිටිනවා.

සාන්ත ජෝසප් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: ලහිරු අමරසේකර (නායක), හිරාන් ජයසුන්දර (උප නායක), හිරුන් කපුරුබණ්ඩාර, නුශාන් පෙරේරා, සුභාශන පොට්ස්මන්, ඩිහේන් ද සිල්වා, යෙනුල දන්තනාරායන, යෙනුල දේව්තුස, හේෂාන් රාමනායක, මානස මධුභාෂණ, දුනික් පෙරේරා, දුනික් සේරසිංහ, කෙනත් ලියනගේ, අවීශ සාමාෂ්, අභිශේක් ජයවීර, කාවෙන් පතිරණ, රිශ්ම අමරසිංහ, දේශාන් තලහිටියගල,  වැකුණුගොඩ. 

රංජිත් අන්ද්‍රාදී පියතුමා (විදුහල්පති), ප්‍රියාන් තිසේරා (ක්‍රීඩා භාර ආචාර්ය), ආසිරි කල්දේරා (ක්‍රිකට් භාර ආචාර්ය), සංජීව ප්‍රනාන්දු (දෙවන පෙළ කණ්ඩායම් භාර ආචාර්ය), ඩිලන් රාමනායක (ප්‍රධාන පුහුණුකරු), ටොරින් පිටිගල (සහාය පුහුණුකරු), කල්ප ප්‍රනාන්දු (දෙවන පෙළ පුහුණුකරු). 

සාන්ත පීතර විද්‍යාලය 

සාන්ත පීතර විද්‍යාලය, මෙවර ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ Tier B කොටසෙන් තරගාවලියට එක් වූ අතර එහි දී මහනුවර ධර්මරාජ විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයග්‍රහණයක් වාර්තා කරමින් තරගාවලියේ අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත්තා.  

තරගාවලියේ ඒ තරමින් දක්ෂතා දක්වද්දී අසදිස ද සිල්වා, ඩිලන දම්සර, ෂෙනෝන් රොද්‍රිගෝ, ඔවීන් සල්ගාදු සහ රූසඳ ගමගේ කැපී පෙණෙන දක්ෂතා දැක් වූවා.  

මේ අතුරින් අසදිස ද සිල්වා තරග 14ක ඉනිම් 24කට සහභාගී වෙමින් අර්ධ ශතක 5ක් සමඟින් ලකුණු 699ක් ලබා ගන්නවා. ඊට අමතර ව ඩිලන දම්සර තරග 10ක ඉනිම් 16ක දී ශතක 2ක් සහ අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 636ක් ලබා ගන්නවා.  

කණ්ඩායමේ තෙවැනියට වැඩිම ලකුණුලාභියා බවට පත් වෙන්නෙ ෂෙනෝන් රොද්‍රිගෝ. ඔහු තරග 12ක ඉනිම් 21ක දී අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 602ක් ලබා ගන්නවා. ඊට අමතර ව ඔවීන් සල්ගාදු තරග 11ක ඉනිම් 19ක දී ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 531ක් ද සහ රූසඳ ගමගේ තරග 9ක ඉනිම් 15ක දී ශතකයක් සහ අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 503ක් ලබා ගන්නවා.  

කණ්ඩායමේ අනෙක් ශතකලාභියා වෙන්නේ නායක විශේන් හැළඹගේ. ඔහු තරග 9ක ඉනිම් 15ක දී ශතකයක් සහ අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 422ක් ලබා ගන්නවා. ඔහුට අමතර ව නේතන් ඩේවිඩ් (310) ද ලකුණු අතර සිටිමින් සාන්ත පීතර ලකුණු පුවරු ශක්තිමත් කළා.  

පන්දු යැවීමේ දී වඩාත් දක්ෂතා දැක් වූයේ ෂෙනෝන් රොද්‍රිගෝ. ඔහු කඩුලු 58ක් දවා ගනිමින් මෙම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත් වූවාට අමතර ව පිතිකරුවෙක් ලෙසින් ද දක්ෂතා දක්වමින් එම ලැයිස්තුවේ තෙවැනියා බවට ද පත් වූවා. ඊට අමතර ව මෙම ලැයිස්තුවේ 2 වැනි ස්ථානයට පත් වෙන්නේ ලශ්මික පෙරේරා. ඔහු කඩුලු 25ක් ලබා ගන්නවා.  

කණ්ඩායමේ නායක විශේන් හැළඹගේ විශ්වසනීය පිතිකරුවෙක්ට අමතර ව විශ්වසනීය පන්දු යවන්නෙක් බවට ද මේ වන විට සනාථ කර තිබෙනවා. ඔහු ලබා ඇති කඩුලු සංඛ්‍යාව 19ක්. මේ කඩුලු අතර කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට එරෙහිව ලකුණු 76කට කඩුලු 8ක් දවා ගන්නා ලද එය මෙවර තරගාවලියේ සාන්ත පීතර විද්‍යාලයීය පන්දු යවන්නෙක් පෑ ඉහළ ම දක්ෂතාව බවට ද පත් වූවා.  

ඊට අමතර ව ඉෂිර අයුපාල ද කඩුලු 18ක් ලබා ගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා. 

සාන්ත පීතර විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: විශේන් හැළඹගේ (නායක), රූසඳ ගමගේ, ෂෙනෝන් රොද්‍රිගෝ, ඔවින් සල්ගාදු, නේතන් ඩේවිඩ්, චමිඳු පෙරේරා, ලශ්මික පෙරේරා, ඉෂිර ආයුපාල, රිතිල සුරවීර, ජනිත් කෞෂාන්, අසදිස ද සිල්වා, සවි ප්‍රනාන්දු, ඩිලන දම්සර, ජොශුවා සෙබස්තියන්, විරුල් අමරපාල, සචින් පෙරේරා, හිරුක සිල්වා, ලශේන් පුෂ්පකුමාර, සදීශ කාරියවසම්, අනූප ගරුමාන්න. 

රෝහිත රොද්‍රිගෝ පියතුමා (විදුහල්පති), මිලාන් බර්නාඩ් පියතුමා (ක්‍රිකට් සම්බන්ධීකාරක), නිර්මල ප්‍රියදර්ශන (ක්‍රිකට් භාර ආචාර්ය), මොහාන් ලියනගේ (පුහුණුකරු), ප්‍රගීත් නිශාන්ත (සහාය පුහුණුකරු සහ Trainer), තුෂාර මධුශංක (සහාය පුහුණුකරු) 

දෙවිදුහල් අතර පීටර් ඒ.පිල්ලේ පියතුමන් අනුස්මරණ කුසලානය වෙනුවෙන් 50 වැනි වරටත් පැවැත්වෙන එක්දින සීමිත පන්දුවාර වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස අප්‍රේල් 06 වැනිදා සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී ම පැවැත්වීමට නියමිතයි. මෙම කුසලානය මේ වන විට රැදී තිබෙන්නේ පසුගිය වසරේ ජයග්‍රාහකයන් වන සාන්ත ජෝසප් විද්‍යාලය සතුවයි.  

1975 වසරේ සිට පැවැත එන මෙම එක්දින තරගාවලියේ මෙතෙක් නිමා වූ තරගවල දී සාන්ත ජෝසප් විද්‍යාලය අවස්ථා 25ක දී ද සහ සාන්ත පීතර විද්‍යාලය අවස්ථා 21ක දී ජයග්‍රහණය කර තිබෙනවා. ඊට අමතර ව 2001 වසරේ දී පැවැති තරගය ලකුණු සම වීමෙන් අවසන් ව ඇති අතර, 2008 වසරේ දී නොවිසඳුසුණ තරගයක් ලෙසින් අවසන් වන අතර සහ 2020 වසරේ දී Covid-19 උවදුර හේතුවෙන් තරගය පැවැතියේ නැහැ.  

සාන්තුවරයන්ගේ සටනට එක් වෙන සාන්ත ජෝසප් විද්‍යාලයීය සහ සාන්ත පීතර විද්‍යාලයීය ක්‍රීඩකයන්ට ThePapare.com වෙතින් උණුසුම් සුබ පැතුම්! 

දෙස්- විදෙස් ප්‍රචලිත මෙම තරගයේ උණුසුම ඒ ආකාරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare.com බලාපොරොත්තු වෙනවා. ඒ අනුව පන්දුවෙන් පන්දුව සජීවී අත්දැකීම් Dialog Television හී ThePapare TV HD නාලිකා අංක 126 සුසර කර ගැනීමෙන් මෙන්ම, ThePapare.com සහ Dialog ViU App ඔස්සේ ද නැරඹීමට ඔබට පහසුකම් සපයා තිබෙනවා. 

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare.com සමඟින්.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<