71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවයට සියල්ල සූදානම්

71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවය 2023

151

ජාතික බැඩ්මින්ටන් පිටියේ පැවැත්වෙන ප්‍රධානතම තරගාවලිය වන ජාතික බැඩ්මින්ටන් ශූරතාවයේ 71 වැනි අදියර පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ (28) කොළඹ 80 Club හී පැවැත්වුණා.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනය විසින් පවත්වන මෙම තරගාවලිය මෙවර දෙසැම්බර් මස 04 සිට 10 දක්වා පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1000 කට අධික පිරිසක් සහභාගී වෙනවා.

තරගාවලියේ තරග ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ගෘහස්ථ ක්‍රීඩාංගණය, වෙළඳ සේවා බැඩ්මින්ටන් ක්‍රීඩා පිටිය සහ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාල ගෘහස්ථ බැඩ්මින්ටන් ක්‍රීඩා පිටිය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැඩි ගණනක සහභාගීත්වය සමඟ මෙවර ඉතා තරගකාරී තරගාවලියක් අපේක්ෂා කරන අතර ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා රුපියල් මිලියන දෙකක් දක්වා ත්‍යාග මුදල් හිමි වෙනවා.

මෙම තරගාවලිය සඳහා ක්‍රීඩක ලියාපදිංචිය නොවැම්බර් මස 24 වැනිදා අවසන් වීමට නියමිතව ඇති අතර තරගාවලියේ තරග කාලසටහන සඳහා කුසපත් ඇදීම නොවැම්බර් මස 30 වැනිදා සිදු කිරීමට නියමිතයි.

තරගාවලිය අවුරුදු 11 සිට 19 දක්වා කනිෂ්ඨ කාණ්ඩය ලෙසත්, අවුරුදු 30ට වැඩි සහ 70ට වැඩි ලෙසත් කාණ්ඩ කිහිපයක් යටතේ පැවැත්වෙන අතර කාන්තා සහ පිරිමි කේවල, යුගල සහ මිශ්‍ර ලෙස තරග පැවැත්වීමට නියමිතයි.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟම.

>>තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<