“මාලිංගට IPL බලන් ඉන්න තමයි වෙන්නෙ” – තිලංග සුමතිපාල

905
Thilanga speaks about Malinga and IPL

ආබාධිත තත්ත්වයක්‌ හේතුවෙන් විස්‌සයි විස්‌ස ලෝක කුසලාන සංචිතයෙන් ඉවත්වී සිය රට බලා පැමිණි ලසිත් මාලිංගට දැන් ක්‍රියාත්මක අයි.පී.එල්. තරගාවලිය ක්‍රීඩා කිරීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වෙත ඔහුගේ නිරෝගී බව ඔප්පු කළ පෙන්විය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි. 

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සමග ගිවිසුම්ගතව සිටින ඕනෑම ක්‍රීඩකයකු ආබාධිත තත්ත්වයකට පත්වීමෙන් පසු යළිත් සුව වු බවට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට දැන්විය යුතුවේ. අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වෛද්‍ය කමිටුව මගින් ඔහුගේ තත්ත්වය පරීක්‍ෂා කර තරග කිරීමට හැකිද යන්න නිගමනය කරනු ලබයි.

කෙසේ වෙතත් ලසිත් මාලිංගටද සිය ආබාධය සුවවීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට දැන්විය යුතු වුවත් යම් හෙයකින් ඔහු එසේ නොදන්වා අයි.පී.එල්. ගියහොත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සභාපතිවරයා අනුගමනය කරන ක්‍රියා පිළිවෙත කුමක්‌දැයි විමසන ලදුව, “යන්න පුලුවන්. හැබැයි බලන් ඉන්න තමයි වෙන්නෙ. මාලිංගගේ තත්ත්වය සහ ඔහු පසුගිය කාලයේ ලබාදුන් ප්‍රකාශ සම්බන්ධයෙනුත් අපි පරීක්‍ෂණයක්‌ පවත්වන්න කටයුතු කරනවා.” යනුවෙන් සුමතිපාල මහතා පැවසීය.

මුම්බායි කණ්‌ඩායම නියෝජනය කරන ලසිත් මාලිංග අයි.පී.එල්. දෙවැනි අදියරේ සිට එනම් ලබන 24 වැනිදායින් පසුව මුම්බායි කණ්‌ඩායමට එක්‌වීමට ඉඩ ඇති බව එම කණ්‌ඩායම් පුහුණුකරු රිකී පොන්ටින්ද පවසා තිබේ. එහෙත් ලසිත් මාලිංග තමාගේ තත්ත්වය පිළිබඳව මෙතෙක්‌ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය කිසිවක්‌ දන්වා නොතිබෙන අතර යම් හෙයකින් ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට නොදන්වා අයි.පී.එල් ක්‍රීඩා කළහොත් ඔහුට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ විනය පියවරක්‌ ගනු ඇත.