විරේන් සහ රනිත්මා Otters කිරුළු දිනයි

OTTERS විවෘත බැඩ්මින්ටන් ශූරතාවය 2023

159

ජුනි 12 වැනිදා සිට දින හතක් පුරාවට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් මූලස්ථාන ක්‍රීඩාංගණය, වෙළඳසේවා ගෘහස්ථ ක්‍රීඩාංගණය සහ OTTERS ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවති OTTERS විවෘත බැඩ්මින්ටන් ශූරතාවය ඊයේ (18) අවසන් වුනා.

ඉතා උණුසුම් අයුරින් පැවති මෙම තරගාවලියේ පිරිමි ඒකල ශූරතාව විරේන් නෙත්තසිංහ විසින් දිනා ගැනීමට සමත් වූ අතර කාන්තා ශූරතාව දිනා ගත්තේ රනිත්මා ලියනගේ විසිනුයි.

පිරිමි ඒකල අවසන් තරගයේ දී විරේන් විසින් සවිංක වීරසේකර සමඟ තරග වැදුණු අතර ඉතා තියුණු සටනකින් පසුව විරේන් සිය දස්කම් පෙන්වමින් තරගය ජයග්‍රහණය කළා.

වරංගා හිම්සරණි සමඟ කාන්තා ඒකල අවසන් තරගයට සහභාගී වූ රනිත්මා විසින් එම තරගය ජයග්‍රහණය කරමින් කාන්තා ශූරතාවය දිනා ගත්තා.

කාන්තා යුගල අවසන් තරගය රනිත්මා සහ කවිඳි ඉසදිකා විසින් ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර ඔවුන් හමුවේ පරාජයට පත් වුනේ SLIIT නියෝජනය කළ හංසමාලි මස්කෝරල සහ විදාරා සුබාශිනී යන ක්‍රීඩිකාවන් දෙදෙනායි.

RSBA ඇකඩමිය නියෝජනය කරන බුවනෙක ගුණතිලක සහ සවිංක වීරසේකර පිරිමි යුගල ශූරතාවය දිනා ගැනීමට සමත් වූ අතර ලෝචන ද සිල්වා සහ සියත් දුල්නෙත් ඔවුන් හමුවේ පරාජය වුනා.

තරගාවලියේ වඩාත් අවධානය දිනා ගත් මිශ්‍ර යුගල තරගයෙන් ලෝචන ද සිල්වා සහ නදීෂා ගයන්ති පරාජයට පත් කරමින් ජයග්‍රහණය ලබා ගන්නට බුවනෙක සහ සිරිමාන්නගේ සමත් වුනා.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ සභාපති රොහාන් ද සිල්වා මහතා විසින් ජයග්‍රාහකයින්ට සහතික පත් ප්‍රදානය කළ අතර මෙම තරගාවලිය බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමය සහ Otter Aquatic Club නිලධාරීන් විසින් සංවිධානය කළා.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ සියලු උණුසුම් පුවත් එසැණින් දැන ගැනීම සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<