උසෙන් වැඩ ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මාලදිවයින පරාජය කරයි

6 වැනි දකුණු ආසියානු පැසිපන්දු ශූරතාවය - 2021

345
6th Bangabandu South Asian Basketball Championship

ඊයේ (17) ඉන්දියාවට එරෙහිව ලද දරුණු පරාජයත් සමඟින් 2021 බංගාබන්දු දකුණු ආසියානු පැසිපන්දු ශූරතාවයේ තෙවැනි තරගය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකාව අද (18) 77-45ක් ලෙස මාලදිවයින පරාජය කරන්නට සමත් වුනා.

ශ්‍රී ලංකාව වත්මන් ශූරයින් ලෙස මෙවර තරගාවලිය සඳහා පිවිසි අතර සත්කාරක බංග්ලාදේශය හමුවේ පැවති පළමු තරගයෙන් ශ්‍රී ලංකාව තියුණු ජයග්‍රහණයක් වාර්තා කරන්නට සමත් වුනා.

ඉන්පසුව සහභාගී වූ දෙවැනි තරගයේ දී ප්‍රබල ඉන්දීය කණ්ඩායමේ හමුවේ දරුණු පරාජයකට මුහුණ දෙන්නට ශ්‍රී ලංකාවට සිදු වුනා. එම පරාජයත් සමඟින් මෙවර තරගාවලියේ ශූරතාවය සඳහා වන බලාපොරොත්තු ද ශ්‍රී ලංකාවෙන් දුරස් වුනා.

බංග්ලාදේශයේ ඩකා අගනුවර දී පැවැත්වෙන තරගාවලියේ මාලදිවයින සමඟ අද පැවති තරගයේ දී ප්‍රථමයෙන් ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට සමත් වුනේ මාලදිවයින් ක්‍රීඩකයින් විසිනුයි. ඉන් අනතුරුව ලකුණු හඹා යෑම ආරම්භ කළ ශ්‍රී ලංකාව 5-3ක් ලෙස පෙරමුණ ගන්නට සමත් වුනා.

මාලදිවයින් ක්‍රීඩකයින් සාර්ථකව මෙල්ල කරමින් දක්ෂ ලෙස පන්දුව හැසිර වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පළමු කාර්තුව අවසන් කළේ 21-08ක් ලෙස පළමු කාර්තුවේ වාසිය සමඟ ප්‍රබල ස්ථානයක පසුවෙමිනුයි.

පළමු කාර්තුව: මාලදිවයින 08 – 21 ශ්‍රී ලංකාව

තරගයේ දෙවැනි කාර්තුවේ දී ප්‍රථමයෙන් ලකුණු රැස් කළේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විසිනුයි. දක්ෂ ලෙස ප්‍රතිවාදීන්ගෙන් ආරක්ෂා කර ගනිමින් සාර්ථකව එකිනෙකා අතර හුවමාරු කර ගනිමින් ඉදිරියට රැගෙන ආ පන්දුව සාර්ථකව ලකුණු බවට පරිවර්තනය කරන්නට ප්‍රනීත් උඩුමලගල සමත් වුනා.

දෙවැනි කාර්තුවේ අඩක් අවසන් වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 32-18ක් ලෙස දැක්වූ අතර පළමු අර්ධය අවසන් වන විට තවත් ලකුණු 22ක් ලබා ගන්නට ශ්‍රී ලංකාව සමත් වුනා. මාලදිවයිනට රැස්කර ගැනීමට හැකි වුනේ තවත් ලකුණු 15ක් පමණයි.

පළමු අර්ධය: මාලදිවයින 23 – 43 ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ප්‍රතිවාදීන්ගේ දුර්වලතා ප්‍රයෝජනයට ගනිමින් තෙවැනි කාර්තුවේ දී ද හොඳ අභියෝගයක් ලබා දෙනු දක්නට ලැබුණු අතර කාර්තුවේ අඩක් අවසන් වන විට ශ්‍රී ලංකාව 55-33ක් ලෙස පෙරමුණ ගෙන සිටියා.

තෙවැනි කාර්තුව අවසන් වන විට ප්‍රතිවාදීන්ට එරෙහිව ලකුණු 28 පරතරයක් ගොඩනගා ගන්නට ශ්‍රී ලංකාව සමත් ව සිටි අතර කාර්තුව අවසානයේ ලකුණු තත්වය දැක්වුණේ 32-60ක් වශයෙනුයි.

තෙවැනි කාර්තුව: මාලදිවයින 32 – 60 ශ්‍රී ලංකාව

සිව්වැනි සහ අවසන් කාර්තුව සඳහා මාලදිවයින් ක්‍රීඩකයින් පිටියට පිවිසේ ශ්‍රී ලංකාවට අභියෝගයක් ලබා දීමේ අරමුණින් වුවත්, ඔවුන්ව සාර්ථක ලෙස අවහිර කරමින් ලකුණු රැස්කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුනා.

තරගය පුරාවටම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිය උසින් වාසි ලබා ගන්නා ආකාරයක් දිස් වූ අතර ශ්‍රී ලංකාවට සාපේක්ෂව මාලදිවයින් ක්‍රීඩකයින් තරමක් උසින් අඩු ක්‍රීඩකයින් වුනා.

සිව්වැනි කාර්තුවේ අඩක් අවසන් වන විට 36-71ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණේ පසු වුනේ මාලදිවයිනෙන් ජයග්‍රහණය ඈතට රැගෙන යමිනුයි. සිව්වැනි කාර්තුව අවසානයේ දී තවත් ලකුණු 17ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව 77-45ක් ලෙස තරගය ජයග්‍රහණය කරන්නට සමත් වන විට මාලදිවයිනට රැස්කර ගැනීමට හැකි වුනේ තවත් ලකුණු 13ක් පමණයි.

අවසන් ලකුණු තත්වය: මාලදිවයින 45 – 77 ශ්‍රී ලංකාව

6th Bangabandu South Asian Basketball Championship 2021මේ තරගයත් සමඟින් ශ්‍රී ලංකාව ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණු තරග ප්‍රමාණය අවසන් වන අතර ලීග් ක්‍රමය යටතේ පැවැත්වෙන තරගාවලියේ ශූරතා සිහිනය ශ්‍රී ලංකාවෙන් ගිලිහී තිබුනත්, ක්‍රීඩකයින්ගේ දක්ෂතා සැලකිය යුතු මට්ටමක තිබෙනු දක්නට ලැබුණා.

මෙවර දකුණු ආසියානු පැසිපන්දු ශූරතාවය බංග්ලාදේශයේ සත්කාරකත්වය ඇති ඉකුත් 15 වැනිදා ආරම්භ වූ අතර තරගාවලිය සඳහා රටවල් 6ක් සහභාගී වීමට නියමිතව තිබුනත් මෙවර ඊට සහභාගී වූයේ කණ්ඩායම් 4ක් පමණයි.

ඒ අනුව ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඉන්දියාව සහ මාලදිවයින තරගාවලිය සඳහා සහභාගී වෙද්දී භූතානය සහ නේපාලය මෙවර තරගාවලිය සඳහා සහභාගී වූයේ නැහැ. තරගාවලියේ අවසන් තරගය හෙට (19) ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිතයි.

>>තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<