ශ්‍රේණිගත කිරීම් ඉලක්ක කර බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් යුරෝපයට

244

හෙට (13) ආරම්භ වීමට නියමිත Yonex Dutch විවෘත බැඩ්මින්ටන් ශූරතාවය ඇතුළු තවත් තරගාවලි කිහිපයකට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙක් යුරෝපයේ තරග සංචාරයකට පිටත්ව ගොස් තිබෙනවා.

කොරෝනා වසංගතය නිසාවෙන් පසුගිය කාලසීමාවේ දී බැඩ්මින්ටන් තරගවලට සහභාගී වීමට නොහැකි වීම නිසාවෙන් මෙම තරගාවලි කිහිපය මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉතා වැදගත් වන අතර එහි දී දස්කම් දක්වා සිය ප්‍රසාද ලකුණු වැඩිකර ගනිමින් ලෝක ශ්‍රේණිගත කිරීම් හී ඉහළට පැමිණීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණයි.

මෙරට සිටින ප්‍රබලතම යුගල ක්‍රීඩකයන් දෙදෙනෙක් වන බුවනෙක ගුණතිලක, සචින් ඩයස් සහ තවත් දක්ෂ ක්‍රීඩකයෙකු වන රන්තුෂ්ක කරුණාතිලක පිරිමි අංශය නියෝජනය කරමින් මෙම සංචාරයට එක්වෙද්දී, කාන්තා අංශයෙන් කාවින්දි සිරිමාන්නගේ මෙම කණ්ඩායමට එක්ව ඇත.

එමෙන්ම ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ජාතික ශූරිය වන තිළිණි හෙන්දහේවා ද මෙම තරගාවලි සඳහා එක්වීමට අපේක්ෂාවෙන් සිටි නමුත් ඇයට කොරෝනා වයිරසය ආසාදනය වීම නිසාවෙන් ඉවත් වීමට සිදු වූ අතර මෙරට බැඩ්මින්ටන් රජු ලෙස සලකන නිලූක කරුණාරත්න සහ ඔහුගේ සොහොයුරු දිනූක කරුණාරත්න පසුව මෙම කණ්ඩායම හා එක්වීමට නියමිතයි.

මෙය මෙම ක්‍රීඩකයන් හට ඉතා කාර්ය බහුල තරගාවලි කිහිපයක් වන අතර ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ අවසර ලද ඉහළ පෙළේ තරගාවලි හතරක් වන ඒවායෙන් ඉහළ ප්‍රසාද ලකුණු ලබා ගැනීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි වේ.

දේශීය බැඩ්මින්ටන් පිටියේ සුපිරි කාණ්ඩයේ ක්‍රීඩකයන් ලෙස වෙන් කළ මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් මැන ගැනීමට මෙන්ම ලෝක බැඩ්මින්ටන් පිටියේ දස්කම් දක්වමින් ශ්‍රේණිගත කිරීමේ ඉහළට පැමිණීමට මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙම තරගාවලිය විශාල අවස්ථාවකි.

යුරෝපයේ රටවල් හතරක් ආවරණය කරමින් පැවැත්වීමට නියමිතව ඇති මෙම සංචාරය සඳහා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනය විසින් රුපියල් මිලියන 10ක මුදලක් වෙන් කර ඇති අතර ඔවුන්ට අමතරව ක්‍රීඩා අමාත්‍යාංශය ද සිය දායකත්වය ලබා දී ඇත.

සචින් ඩයස් සහ බුවනෙක ගුණතිලක සඳහා වැය වන සියලු වියදම් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් දරනු ලබන අතර අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා වන වියදම් බැඩ්මින්ටන් සම්මේලනය සහ ක්‍රීඩා අමාත්‍යාංශය එක්ව දරනු ලබයි.

බුවනෙක ගුණතිලක පිරිමි කේවල, යුගල ඉසව්වන් සහ සචින් ඩයස් පිරිමි යුගල සහ මිශ්‍ර යුගල ඉසව්වන් නියෝජනය කරන අතර රන්තුෂ්ක කරුණාරත්න පිරිමි කේවල ඉසව්ව සහ කාවින්දි සිරිමාන්නගේ කාන්තා කේවල සහ මිශ්‍ර යුගල ඉසව්වන් නියෝජනය කරයි.

තිලිණි හෙන්දහේවා තරගාවලිය නියෝජනය නොකරන නිසාවෙන් කාවින්දි සිරිමාන්නගේ කාන්තා කේවල ඉසව්ව නියෝජනය කරන අතර කණ්ඩායම හා එක්වීමෙන් පසු නිලූක සහ දිනූක කරුණාරත්න පිරිමි කේවල ඉසව් නියෝජනය කිරීමට නියමිතයි.

ඒ අනුව යුරෝපයේ පැවැත්වෙන ඉතා තරගකාරී බැඩ්මින්ටන් තරගාවලි නියෝජනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වරම් ලැබෙන අතර නෙදර්ලන්තය, චෙක් ජනරජය, හංගේරියාව සහ බෙල්ජියමය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන එම තරගාවලි පහත පරිදි වේ.

  • Dutch open 2021 -ඔක්තෝබර් 13 සිට 17 දක්වා
  • Czech open 2021 – ඔක්තෝබර් 21සිට 24 දක්වා
  • Belgian open 2021 – ඔක්තෝබර් 27 සිට 30 දක්වා
  • Hungary open 2021 – නොවැම්බර් 03 සිට 07 දක්වා

මෙම තරගාවලි අවසන් වීමෙන් පසු නිලූක කරුණාරත්න හැර අනෙකුත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් නැවත දිවයිනට පැමිණීමට නියමිතව ඇති අතර නිලූක නොවැම්බර් මස 24 සිට දෙසැම්බර් මස 04 දක්වා පැවැත්වෙන ලෝක ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවයට සහභාගී වීම සඳහා ස්පාඤ්ඤයට පිටත් වනු ඇත.

Daily News ඇසුරෙන්.

>>තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<