තෙවැනි කාර්තුවේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට අසාධ්‍යයි

6 වැනි දකුණු ආසියානු පැසිපන්දු ශූරතාවය - 2021

322

2021 බංගාබන්දු දකුණු ආසියානු පැසිපන්දු ශූරතාවයේ ශ්‍රී ලංකාව සහභාගි වූ දෙවැනි තරගය අද (17) ඉන්දියාව සමඟ බංග්ලාදේශයේ ඩකා අගනුවර දී පැවැත්වුනා. එහි දී ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක් තිළිණ කරමින් ලකුණු 114 – 48ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරන්නට ප්‍රබල ඉන්දියාව සමත් වුනා.

ශ්‍රී ලංකාව වත්මන් ශූරයින් ලෙස සහ මෙවර තරගාවලියේ පළමු තරගයේ දී බංග්ලාදේශය පරාජය කරමින් (56-67) ලද ජයග්‍රාහී මානසිකත්වයත් සමඟින් අද තරගය සඳහා අවතීර්ණ වුනා. ඉන්දියාව ද ජයග්‍රාහි මානසිකත්වයකින් අද තරගයට අවතීර්ණ වුනේ 88-31ක් ලෙස මාලදිවයින පරාජය කරමිනුයි.

ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 9ට පමණ ආරම්භ වූ තරගයේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේ ඉන්දීය ක්‍රීඩකයින් විසිනුයි. ශ්‍රී ලංකාව ලකුණු රැස්කිරීම ආරම්භ කළේ ඉන්දියාව ලකුණු 8ක් ලබා සිටි අවස්ථාවේ දීයි.

බංග්ලාදේශ තරගයේ දී මෙන් නොව ආරම්භයේ සිටම ප්‍රතිවාදීන්ගෙන් ශ්‍රී ලංකාවට විශාල පීඩනයක් එල්ල වූ අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ලකුණු හඹා යෑමේ වේගය ද අවම මට්ටමට පැවතුණා. පළමු කාර්තුවේ අවස්ථාවක 21-08ක් ලෙස ඉන්දියාව පෙරමුණේ පසුවුනේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට විශාල පීඩනයක් එල්ල කරමිනුයි.

පළමු කාර්තුවේ දී ම සාර්ථක ආරම්භයක් ලබා ගත් අසල්වාසී ඉන්දියාව දැවැන්ත පරතරයක් සමඟින් කාර්තුව අවසන් කළේ 30-17ක් ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පීඩනයකට ලක් කරමිනුයි.

පළමු කාර්තුව: ඉන්දියාව 30 – 17 ශ්‍රී ලංකාව

පළමු කාර්තුවේ දී මෙන්ම දෙවැනි කාර්තුවේ දී ප්‍රබල ඉන්දියාවෙන් දැවැන්ත අභියෝගයක් ශ්‍රී ලංකාවට එල්ල වූ අතර ශ්‍රී ලංකාවට ලකුණු ලබා ගැනීමට කිසිදු අවස්ථාවක් ලබා නොදෙමින් ඔවුන් ලකුණු රැස්කරන්නට වුනා.

දෙවැනි කාර්තුවේ අඩක් පමණ අවසන් වන විට ඔවුන් 55-28ක් ලෙස ප්‍රබල ස්ථානයක පසු වූ අතර පළමු කාර්තුවට වඩා තවත් ලකුණු 28ක් වාර්තා කරමින් පළමු අර්ධය අවසන් කරන්නට ඉන්දියාව සමත් වුනා. ශ්‍රී ලංකාවට මෙම කාර්තුවේ දී රැස් කරගැනීමට හැකි වුනේ තවත් ලකුණු 15ක් පමණයි.

පළමු අර්ධය: ඉන්දියාව 58 – 32 ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව දරුණු ලෙස ප්‍රහාරයට ලක් වූ කාර්තුව ලෙස තෙවැනි කාර්තුව හැඳින්වීමට හැකි. ආරම්භයේ පටන් තියුණු ක්‍රීඩා විලාසයකින් සටන් කළ ඉන්දියාව වරෙක ලකුණු 83ක් දක්වා ප්‍රබල තත්වයක පසු වුනා. මෙම කාර්තුව අවසානයේ දී ඔවුන් ලකුණු පුවරුවට තවත් ලකුණු 31ක් ලකුණු පුවරුවට එක් කරන්නට සමත් වන විට ශ්‍රී ලංකාව එම කාර්තුවේ දී රැස්කර ගැනීමට හැකි වුනේ ලකුණු 2ක් පමණයි.

තෙවැනි කාර්තුව: ඉන්දියාව 89 – 34 ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාවෙන් ජයග්‍රහණය නොපෙනෙන දුරකට ඇදී ගොස් පැවති අවස්ථාවක දී ආරම්භ වූ සිව්වැනි සහ අවසන් කාර්තුවේ දීත් ඉන්දියානුවන්ට සැලකිය යුතු මට්ටමේ අභියෝගයක් එල්ල කරන්නට ශ්‍රී ලංකාවට අවස්ථාවක් ලැබුණේ නැහැ.

සිව්වැනි කාර්තුවේ අඩක් පමණ නිමා වෙද්දී ඉන්දියාව විසින් ලකුණු 100 සීමාව පසු කර යන්නට සමත් වන විට ශ්‍රී ලංකාව රැස්කරගෙන සිටියේ ලකුණු 41ක් පමණයි. කෙසේ නමුත් ඉන්දීය ක්‍රීඩකයින් විසින් තවත් ලකුණු 25ක් ලකුණු පුවරුවට එකතු කරමින් 114 – 48ක් ලෙස තරගය අවසන් කරන්නට සමත් වුනේ ශ්‍රී ලංකාව අමිහිරි මතකයන් සපිරි දිනයක් ඉතිරි කරමිනුයි.

අවසන් ලකුණු තත්වය: ඉන්දියාව 114 – 48 ශ්‍රී ලංකාව

තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය හෙට (18) මාලදිවයින සමඟ පැවැත්වීමට නියමිත අතර එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 10ට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<