මාරිස්ටෙලා සහ මැසිනොද් විද්‍යාල අවසන් මහා තරගයට

798
Maristella College
මාරිස්ටෙලා විදුහල් වොලිබෝල් කණ්ඩායම. ©ThePapare.com

කඳාන ද මැසිනොද් විද්‍යාලය විසින් 14 වන වරටත් පවත්වන හෙන්රි සේනාරත්න වොලිබෝල් තරඟාවලියේ, කොළඹ රාජකීය විද්‍යාලය පරාජය කරමින් A කාණ්ඩයේ පෙරමුණ ගත් මීගමුව මාරිස්ටෙල විද්‍යාලය අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. A කාණ්ඩයේ තරග සියල්ල අද (15) මැසිනොද් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවත්විය.

පසුගිය ලිපි: B කාණ්ඩයේ පෙරමුණ ගනිමින් මැසිනෝදිය අවසන් මහා තරඟයට

පසුගිය වසරේ අනුශූරයන් වූ හංවැල්ල රාජසිංහ ම.ම.වි. , කිරිඳිවල ම.ම.වි. හා මලියදේව විද්‍යාලය වසර අවසාන වාර විභාහග හේතුවෙන් මෙවර තරඟාවලියට සහභාගී වූයේ නැත. එමනිසා A කාණ්ඩයේ තරඟ පැවතියේ මාරිස්ටෙලා විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය හා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය අතරයි.

රාජකීයයන් හා බණ්ඩාරනායක විද්‍යාලය අතර තරඟය 25-16 හා 25-18ක් ලෙස ජය ගන්නට කොළඹ රාජකීයයන් සමත් විය.

බස්නාහිර පළාත් ශූරයන් වූ මාරිස්ටෙලා විදුහල, තරමක තීරණාත්මක තරඟ වට දෙකකින් අනතුරුව 25-21ක් ලෙස තරඟ වට දෙකම, බණ්ඩාරනායක විදුහල පරාජය කරමින් ජයග්‍රහණය කිරීමට සමත් විය.

ප්‍රථම අර්ධයේ තරඟ ජයග්‍රහණය කර සිටි රාජකීය හා මාරිස්ටෙලා විද්‍යාල, කාණ්ඩයේ පෙරමුණ ගැනීමේ සටනට ඊලඟට අවතීර්ණ විය.

ලකුණු 25-18ක් හා 25-14ක් ලෙස පහසුවෙන් ප්‍රථම තරංග වට දෙකම මාරිස්ටෙලා ක්‍රීඩකයින් ජය ගත්තද, තරඟයේ තත්වය සම්පූර්ණයෙන් වෙනස් කරමින්, තම සුපුරුදු තරඟ රටාවට පිවිසෙමින් තුන්වන තරඟ වටය 25-22ක් ලෙස ජය ගැනීමට රාජකීය විද්‍යාලය සමත් විය.

සිව්වන තරඟ වටය උණුසුම් තරඟයක් බවට පත් කරමින් පළාත් ශූරයන් පවා විමතියට පත් කල අශේන් සන්ජුලගේ දක්ශ තරඟ රටාව හේතුවෙන් නැවතත් සිව්වැනි තරඟ වටය ලකුණු 27-25ක් ලෙසින් ජය ගත්තේ රාජකීය ක්‍රීඩකයින් විසිනි.

පස්වන තරඟ වටයේ ද පළමු ලකුණු 10 වන තෙක්, තියුණු තරඟ විලාසයක් දෙපිළෙන්ම පෙන්නුම් කලද තරූෂ මාලින්ද එල්ල කල ප්‍රභල පහරවල් නිසාවෙන් ලකුණු 15-10ක් ලෙස අවසන් තරඟ වටය සිය අණසකට යටත් කර, කාණ්ඩයේ පෙරමුණට පත් වෙමින් අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය සමත් විය.

දිනයේ අවසන් තරඟය ලෙස පැවත්වීමට තිබූ තුන්වන ස්ථානය සඳහා වන තරඟය, නිතරඟයෙන් ජය ගැනීමට රාජකීයන් සමත් වූයේ ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ කොළඹ නාලන්දා ක්‍රීඩකයින් තරඟයට හැර යෑම හේතුවෙනි.

තරඟාවලියේ අවසන් මහා තරඟය කඳාන ද මැසිනොද් විද්‍යාලය හා මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය අතර ලබන වසරේ ජනවාරි මාසයේදී පැවැත්වෙන්නේ ද මැසිනොද් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදීයි.

තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් ක්‍රීඩා පිටුවට