අවසන් කාර්තුවේ සුපිරි සටනින් ජයග්‍රහණය ශ්‍රී ලංකාවට

6 වැනි දකුණු ආසියානු පැසිපන්දු ශූරතාවය - 2021

173

අද (15) බංග්ලාදේශයේ ඩකා අගනුවර දී ආරම්භ වූ 6 වැනි බංගාබන්දු දකුණු ආසියානු පැසිපන්දු ශූරතාවයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති පළමු තරගයෙන් ලකුණු 56-67ක් ලෙස ජයග්‍රහණය ලබා ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුනා.

2018 දී බංග්ලාදේශය පරාජය කරමින් දකුණු ආසියානු ශූරයින් ලෙස ශ්‍රී ලංකාව මෙවර තරගාවලිය සඳහා සහභාගී වන අතර ශ්‍රී ලංකාව සමඟින් ආසියානු කලාපයේ රටවල් 4ක් ශූරතාවය සඳහා තරග වදිනවා. ශ්‍රී ලංකාවට අමතරව තරගාවලිය සඳහා සහභාගී වන අනෙකුත් සෙසු රටවල් වන්නේ බංග්ලාදේශය, ඉන්දියාව සහ මාලදිවයිනයි.

මෙම තරගාවලිය අන්තර්ජාතික පැසිපන්දු සම්මේලනය විසින් සංවිධානය කරන 2025 ආසියානු පැසිපන්දු ශූරතාවය සඳහා වන තේරීම් තරගාවලියක් ලෙස ද සැලකෙනවා. ඒ අනුව තරගාවලියේ පළමු ස්ථාන 3 දිනා ගන්නා කණ්ඩායම් මේ සඳහා සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

නැටුම් ගැයුම්වලින් සමන්විත වූ සමාරම්භක උළෙලින් පසුව ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 10ට පමණ තරගාවලිය ආරම්භ වුනා.

පළමු කාර්තුවේ දී ලකුණු පුවරුව ආරම්භ කරමින් බංග්ලාදේශය පෙරමුණ ගන්නට සමත් වූ අතර ශ්‍රී ලංකාව ද දක්ෂ ලෙස ලකුණින් ලකුණ හඹා යමින් තරග කරනු දක්නට ලැබුණා.  ඉතාමත් කරට කර තරග රටාවක් සමඟින් පළමු කාර්තුව අවසානයේ දී ලකුණු පුවරුව දැක්වුණේ 15-14ක් ලෙස බංග්ලාදේශය පෙරමුණේ පසුවෙමින්.

පළමු කාර්තුව: බංග්ලාදේශය 15 – 14 ශ්‍රී ලංකාව

පළමු අර්ධයේ දී මෙන්ම දෙවැනි අර්ධයේ දී ද ඉතාමත් කරට කර තරග විලාශයක් කණ්ඩායමේ දෙකෙන්ම දක්නට ලැබුණු අතර දෙවැනි කාර්තුව අවසන් වුනේ 30-30ක් ලෙස කණ්ඩායම් දෙකම සම ලකුණු තත්වයේ පසුවෙමිනුයි.

දෙවැනි කාර්තුව: බංග්ලාදේශය 30 – 30 ශ්‍රී ලංකාව

කෙසේ නමුත් තෙවැනි කාර්තුවේ දී බංග්ලාදේශය තවත් ලකුණු 15ක් වාර්තා කරමින් ශ්‍රී ලංකාවට හොඳ අභියෝගයක් ලබා දෙන්නට සමත් වූ අතර ශ්‍රී ලංකාවට එම කාර්තුවේ දී රැස්කර ගැනීමට හැකි වුනේ ලකුණු 11ක් පමණයි. ඒ අනුව තෙවැනි කාර්තුව නිමා වුනේ 45-41ක් ලෙස සත්කාරකයින් පෙරමුණ ගනිමිනුයි.

තෙවැනි කාර්තුව: බංග්ලාදේශය 45 – 41 ශ්‍රී ලංකාව

ඉතාමත් උද්වේගකර අවසන් මිනිත්තු 10යේ සිව්වැනි කාර්තුව ආරම්භ වුනේ දෙපිලේම ක්‍රීඩකයින් ජයග්‍රහණය වෙනුවෙන් සටන ආරම්භ කරමිනුයි. සිව්වැනි කාර්තුවේ අඩක් ගත වෙද්දී ශ්‍රී ලංකාව විසින් සාර්ථකව බංග්ලාදේශය හඹාවිත් 50-50ක් ලෙස ලකුණු පුවරුව සමකරන්නට සමත් වුනා.

ඉන් අනතුරුව මිනිත්තු කිහිපයක් ගත වෙද්දී 50-55ක් ලෙස පෙරමුණ ගන්නට ශ්‍රී ලංකාව සමත් වුනා. ඒ ලබා ගත් පෙරමුණ එක දිගටම පවත්වා ගන්නට ශ්‍රී ලංකාව සමත් වූ අතර සිව්වැනි කාර්තුව අවසන් වුනේ  56-67ක් ලෙස ශ්‍රී ලංකාව තරගය ජයග්‍රහණය කරමිනුයි.

අවසන් ලකුණු තත්වය: බංග්ලාදේශය 56 – 67 ශ්‍රී ලංකාව

තරගාවලිය අද සිට 20 වැනිදා දක්වා බංග්ලාදේශයේ ඩකා අගනුවර දී පැවැත්වෙන අතර Clinton Stalloneගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය එළඹෙන 17 වැනිදා උදෑසන 9ට ප්‍රබල ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ සියලුම තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com අප සමඟින්ම.

>>තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<