බෝතම්, වසීම්, කපිල් දේව් සහ සියල්ලන්ට ම ඉහළින් අරවින්ද!

ICC Cricket World Cup

7499
Four greatest cricket world cup performances

“ඔහු මේ තරම් දක්ෂ අන්දමින් ක්‍රීඩා කරනු මීට පෙර කිසි විටකත් මා දැක නොමැත 

ලකුණු රැස් කිරීමේ දී ඔහුගේ ආධිපත්‍යය කෙතරම් වූයේ ද යත්, කඩුලු 4ක් දැවී අපි ලබා සිටි 88න් ලකුණු 66ක් ම ඔහු ලබා තිබුණි.” 

1996 ලෝක කුසලානයේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වුණු අවසන් පූර්ව තරගයේ දී අරවින්ද ද සිල්වා විසින් දියත් කළ ආක්‍රමණශීලී පිතිහරඹය ගැන රොශාන් මහානාම විසින් තමන්ගේ වේදනාත්මක සමුගැනීම පොතේ සටහන් කරන්නේ ඒ විදිහට. 

ක්‍රිකට්වලට ආදරය කරන, 96 ගැන තියෙන සුන්දර මතක සමඟ ජීවත් වෙන බහුතරයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් අදටත් ඉහළින් ම අගය කරන ක්‍රිකට් ඉනිමක් තමයි අරවින්ද විසින් එදා ඉන්දියාවට එරෙහිව වාර්තා කරපු ලකුණු 66. 

සරලවම කියනවා නම් අරවින්ද එදා ඒ ඉනිම දියත් නොකළා නම් ශ්‍රී ලංකාවට ලෝක කුසලානයක් නැති වෙන්න ඉඩ තිබුණා.  

ලෝ ප්‍රකට ESPN Cricinfo වෙබ් අඩවිය මගින් පවත්වා ගෙන යන The Cricket Monthly වෙබ් අඩවිය මගින් මේ දවස්වල එළඹෙන 2023 එක්දින ලෝක කුසලානය වෙනුවෙන් ලිපි මාලාවක් පළ කරමින් යනවා.  

එයින් එක් ලිපියක් වෙන් වෙන්නේ තම වෙබ් අඩවිය වෙනුවෙන් ලිපි සම්පාදනය කරන ලියන්නන් සිව් දෙනෙකුට තමන් නියෝජනය කරන රට වෙනුවෙන් ලෝක කුසලාන ඉතිහාසයේ ක්‍රීඩකයෙකු විසින් දැක්වූ හොඳම දක්ෂතාව ගැන ලියන්න. එතන දී ලංකාව වෙනුවෙන් ලියන්න අවස්ථාව ලැබුණු Andrew Fidel Fernando විසින් තෝරා ගන්නේ අරවින්දගේ ලකුණු 66. 

ඊට අමතරව එංගලන්තය, ඉන්දියාව සහ පාකිස්තානය වෙනුවෙනුන් මේ වගේම හොඳම ක්‍රීඩක දක්ෂතා ගැන ලියැවෙනවා. පහත තියෙන්නේ ඔවුන් විසින් සිදු කළ තෝරා ගැනීම් සහ ඒ පිළිබඳ විස්තර. 

Ian Botham  

  • 1992 ලෝක කුසලානයේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව සිඩ්නි හිදි 
  • ලකුණු 53, කඩුලු 4 

1992 ලෝක කුසලානයේ දී එවකට ලෝක ශූරයින් වුන ඕස්ට්‍රේලියාව තමන් මුලින් ම ක්‍රීඩා කළ තරග තුනෙන් දෙකක් ම (නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව හමුවේ) පරාජය වෙලා තමයි මීළඟ තරගයේ දී එංගලන්තය මුණ ගැහෙන්නේ. තමන්ගේ ලෝක ශූර පට්ටම දැඩි අවදානමකට ලක් වෙලා තිබුණු නිසාම ඕස්ට්‍රේලියාවට මේ තරගය ජයග්‍රහණය කිරීම අතිශය වැදගත් වුනා.  

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඔවුන් ඒ වෙනුවෙන් සාර්ථක ලෙස අඩිතාලම සකස් කර ගත්තේ කඩුලු හතරක් දැවී ගිහින් ලකුණු 145ක් වාර්තා කර ගන්න සමත් වෙමින්. නමුත් මේ මොහොතේ ක්‍රියාත්මක වුනු එංගලන්ත පුරාවෘත්තයක් ලෙස සැලකෙන Ian Botham විසින් තමන් යොමු කළ පන්දු හතක් තුළ ඕස්ට්‍රේලියානු ඉනිමේ කඩුලු 4ක් බිඳ හෙළන්න සමත් වෙනවා. Allan Border සහ Ian Healy දෙදෙනාත් Bothamට ගොදුරු වෙනවා. 

Four greatest cricket world cup performancesBothamගේ මේ කඩුලු හතරත් එක්ක ඕස්ට්‍රේලියානු ඉනිමේ කඩුලු 4ක් ලකුණු 10ක් තුළ දැවී යනවා. අවසානයේ ඔවුන්ගේ ඉනිම ලකුණු 171කින් නතර වෙනවා. 

මේ ඉලක්කම ඒ කාලයේ සටනක් දෙන්න ප්‍රමාණවත් විදිහේ එකක්. නමුත් එංගලන්තය වෙනුවෙන් ආරම්භක පිතිකරු ලෙස පිටියට එන Botham විසින් ඕස්ට්‍රේලියාවට ඒ තරගය ජයග්‍රහණය කරන්න තිබුණු අවසන් අවස්ථාවත් නැති කරලා දාන්නේ පන්දු 77ක් තුළ ලබා ගත් ආක්‍රමණශීලී ලකුණු 53 මඟින්. 

ඒ වෙද්දී වයස අවුරුදු 37ක් වුන Botham විසින් ගෙවමින් හිටියේ තමන්ගේ ක්‍රීඩා ජීවිතයේ සැඳෑ සමය. ඒත් ඔහු එදා තමන්ගේ එක්දින ජාත්‍යන්තර දිවියේ හොඳම පන්දු යැවීමත් (4/31) සටහන් කර ගන්න ගමන් එංගලන්තයේ සදාකාලික ප්‍රතිවාදියා වුන ඕස්ට්‍රේලියාවට 92 ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසෙන්න තිබුණු අවස්ථාව තවදුරටත් සීමා කරන්න සමත් වෙනවා. 

මේ ගැන Cricket Monthly වෙත ලියන Andrew Miller නම් කියන්නේ එදා Botham විසින් දැක්වූ දක්ෂතාව 2031 ලෝක කුසලානයේ දී Ben Stokes විසින් ක්‍රීඩා කරනවා දකින්න ලැබෙනවා වගේ දෙයක් කියලයි. 

මේ තරගාවලියේ දෙවැනියට වැඩිම කඩුලු ලාභියා (කඩුලු 16) බවට පත් වෙන්නේ Botham විසින්, ඒ වගේම ඔහු තරගාවලියේ දී පිත්තෙන් ලකුණු 192ක් වාර්තා කරන්න සමත් වුනේ අර්ධ ශතක දෙකක් සමඟින්. 

Wasim Akram  

  • 1992 ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී එංගලන්තයට එරෙහිව 
  • ලකුණු 33, කඩුලු 3 

එංගලන්තයට එරෙහිව පැවැත්වුණු 1992 ලෝක කුසලාන අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහර දුන්නේ පාකිස්තාන කණ්ඩායම. පාකිස්තාන ඉනිමේ අංක හය පිතිකරු ලෙස Wasim Akram පිටියට පිවිසෙන තෙක් ම තරගයේ වැඩි වාසි එංගලන්තය සතුව තිබුණා කිව්වත් වරදක් නැහැ. 

ඒ වෙද්දී ඔවුන් පන්දුවාර 43 පන්දු 3ක දී ලබා ගන්න සමත් වෙලා තිබුණේ ලකුණු 197ක් පමණයි. නමුත් මේ මොහොතේ කඩුල්ලේ එකතු වුන Wasim Akram සහ Inzamam-ul-Haq විසින් පන්දු 38ක් තුළ පාකිස්තාන ඉනිමට තවත් ලකුණු 52ක් එකතු කරන්න සමත් වුනා. මෙහි දී Akram විසින් පන්දු 18ක් තුළ වාර්තා කළ ලකුණු ප්‍රමාණය 33ක්. Akramගේ මේ ප්‍රවේගකාරී පිතිකරණය පාකිස්තාන ඉනිම ලකුණු 249ක් දක්වා ඔසවා තබන්න සමත් වෙනවා. 

නමුත් Akram මෙතැනින් නතර වුනේ නැහැ. තරගයේ පිළිතුරු ඉනිම දියත් කළ එංගලන්තයේ පළමු කඩුල්ල ලෙස Ian Bothamව දවා ගන්න Akram සමත් වෙන්නේ ඉනිමේ මුළු ලකුණු සංඛ්‍යාව 6ක් ලෙස සටහන් වෙද්දී. 

Four greatest cricket world cup performancesනමුත් එංගලන්තය තමන්ගේ ඉනිමේ 35 වැනි පන්දුවාරය වෙද්දී කඩුලු හතරක් දැවී ගිහින් ලකුණු 141ක් ලබා ගන්න සමත් වෙන්නෙ තරගයේ වාසිය නැවතත් තමන්ගේ යටතට ගන්න ගමන්.  

මේ අවස්ථාවේ නැවත වරක් ක්‍රියාත්මක වුන Akram විසින් පිට පිට පන්දු දෙකක දී Allan Lamb සහ Chris Lewis ‍යන පිතිකරුවන් දෙදෙනාව ම දවා ගන්න සමත් වෙන්නේ පන්දුව කෙළින්ම කඩුල්ලේ දවටමින් 

ඒ මොහොතේ Akram විසින් යොමු කළ පන්දු දෙක ක්‍රිකට් ඉතිහාසයේ ඔබට දකින්න ලැබෙන පිතිකරුවෙකුට ක්‍රීඩා කිරීමට අපහසු ම ආකාරයේ පන්දු දෙකක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. 

මේ කඩුලු තුනත් සමඟින් Akram තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා (කඩුලු 17) බවටත් පත් වෙන්න සමත් වෙනවා. 

තමන්ගේ රට වෙනුවෙන් ලෝක කුසලානයක් ජයග්‍රහණය කරවලා දෙන්න ක්‍රීඩකයෙක් සමත් වෙනවා නම් තව මොනවද අපිට ඔහුගෙන් බලාපොරොත්තු වෙන්න ඉතුරු වෙන්නේ. 

“Wasim Akram විසින් පාකිස්තානයට ලෝක කුසලානය ජයග්‍රහණය කරවලා දුන්න මොහොතේ දී ඔහු මීළඟ Imran khan වීම නැවතිලා, Wasim Akram බවට පත් වෙන්න පටන් ගත්තා.  

ඊට කලින් Wasim Akram කියන්නේ සරල අදහසක්. ඔහු තමයි මීළඟ Imran khan, ඔහු තමයි මීළඟ පාකිස්තාන සුපිරි පන්දු යවන්නා. ඔහු තමයි මීළඟ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයා. මීළඟ පාකිස්තාන නායකයා.” 

Akramගේ මේ ලෝක කුසලාන දක්ෂතාව ගැන Cricket Monthly වෙත ලියන Osman Samiuddin විසින් ඔහු ගැන සටහන් කරන්නෙ ඒ විදිහට. 

Kapil Dev  

  • 1983 ලෝක කුසලානයේ සිම්බාබ්වේ දේශයට එරෙහිව 
  • ලකුණු 175, කඩුලු 1 

මේ ඉනිම කිසිම වීඩියෝ සාක්ෂියක් නැති, එදා තරගය ක්‍රීඩාංගණයේ ඉඳලා බලපු අය විතරක් දැකපු ඉනිමක් බව ඔබට විශ්වාස කරන්න පුළුවන් ද? 

පසුකාලීන ව 83 හින්දි චිත්‍රපටියේ දී Kapil Devගේ ම අනුදැනුම ඇතිව Ranveer Singh විසින් ඒ ඉනිම ප්‍රතිනිර්මාණය කරන්න උත්සාහ කරනවා වුනත් ඇත්ත වීඩියෝ දර්ශන වලින් ලැබෙන උත්තේජනය එයින් ලැබෙනවා කියන එක නම් සැකයි. 

1983 ලෝක කුසලානයට ඉන්දියාව එන්නේ තරගාවලිය ජයග්‍රහණය කරන්න ඉදිරියෙන් ම ඉන්න කණ්ඩායම විදිහට නෙවෙයි. නමුත් ඔවුන් තුළ ඒ වෙනුවෙන් විශාල බලාපොරොත්තුවක් තියෙනවා. 

ඒ නිසාම එදා සිම්බාබ්වේ සමඟ පැවැත්වුණු තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Kapil විසින් තරගයේ පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන්නේ ඕස්ට්‍රේලියාවට සමඟ තිබුණු දල ලකුණු වේග (NRR) සටනෙන් පෙරමුණ ගන්න බලාපොරොත්තුවත් එක්ක. නමුත් Kapil බලාපොරොත්තු වුනා වගේ දෙයක් නම් නෙවෙයි මේ තරගයේ දී වෙන්න පටන් ගන්නේ. 

නිමා වුනු ආසියානු කුසලාන අවසන් මහා තරගයේ දී ඉන්දීය වේගපන්දුව හමුවේ ශ්‍රී ලංකාවේ කඩුලු දැවී ගියා වගේ ම එදා සිම්බාබ්වේ පන්දු යවන්නන් හමුවේ ඉන්දීය කඩුලු බිඳ වැටෙන්න පටන් ගන්නවා. ඉන්දීය ඉනිමේ මුල් කඩුලු 5 බිඳ වැටෙද්දී ඔවුන් ලබා ගෙන තිබුණේ ලකුණු 17ක් විතරයි. 

ඉන්දීය ඉනිමේ කඩුලු තුනක් ලකුණු 6කට දැවී ගිය වෙලාවේ හොඳ සැපට වතුර මලක් යටට වෙලා ස්නානය කරමින් හිටපු Kapil devට හදිසි කැඳවීමක් ලැබුණු බවත්,  ලකුණු 9 දී ඉන්දීය ඉනිමේ සිව්වැනි කඩුල්ලත් බිඳ වැටුනයින් පසුව Kapilට ක්‍රීඩා පිටියට අවතීර්ණ වෙන්න වුනා කියලත් ඉතිහාස වාර්තාවල (චිත්‍රපටියෙත් මේක දකින්න ලැබෙනවා) සටහන් වෙනවා. 

Four greatest cricket world cup performancesකොහොමින් කොහොම හරි Kapil එදා Roger Binny සමඟ ඉනිමේ හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 60ක සබඳතාවක් පිහිටුවනවා. ඉන්පසුව පිටියට එන පිතිකරුවන් සමඟත් Kapil කෙටි සබඳතා පවත්වනවා. නමුත් ඔවුන්ගේ 8 වැනි කඩුල්ලත් ලකුණු 140 දී දවා ගන්න සිම්බාබ්වේ විසින් සමත් වෙනවා.  

මෙතැනින් පසුව Kapil dev විසින් Syed Kirmani සමඟ නොබිඳුණු ලකුණු 126ක සබඳතාවක් පවත්වන්න සමත් වෙනවා. 

Kapil Dev විසින් එදා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පන්දු 138කින් ලකුණු 175ක් වාර්තා කරන්න සමත් වෙනවා. මේ ඉනිම වෙනුවෙන් හතරේ පහර 16ක් සහ හයේ පහර 6ක් අන්තර්ගත වුනා. 

ඔහු සිය අර්ධ ශතකය වාර්තා කරන්නේ පන්දු 70කින්, නමුත් ඔහුගේ මීළඟ ලකුණු 50 පන්දු 30කින් වාර්තා කරනවා. ඔහුගේ අවසන් ලකුණු 75 වෙනුවෙන් ඔහු වැය කරන්නේ පන්දු 38ක් පමණයි. (මේ පන්දු ප්‍රමාණ නිල වශයෙන් තහවුරු වෙලා නැහැ. ආසන්න වශයෙන් තමයි සඳහන් වෙන්නේ. නමුත් මුළු පන්දු ප්‍රමාණය 138ක් බව තහවුරුයි.) 

Kapilගේ මේ ඉනිම තමයි ඉන්දියානුවෙක් විසින් වාර්තා කළ පළමු එක්දින ශතකය වුනේ. ඒ වගේම ඔහු මේ ඉනිම වාර්තා කරන්න කලින් ලෝක එක්දින ක්‍රිකට් ඉතිහාසය පුරාවටම වාර්තා වෙලා තිබුණේ ලකුණු 150 ඉක්මවා ගිය ඉනිම් 3ක් විතරයි. ඒ වගේම ඔහු මේ ඉනිම දියත් කළේ 126.81ක ප්‍රහාරාත්මක වේගයක් සහිතව. 80 දශකයේ මුල භාගයේ දී මේ වගේ ප්‍රහාරාත්මක වේගයක් කියන්නේ පිතිකරුවෙකුට හීනයක් වගේ දෙයක්! 

මේ තරගයෙන් ඉන්දියාව ලකුණු 31ක ජයග්‍රහණයක් ලබා ගනිද්දී, Kapil Dev විසින් පන්දු යැවීමෙන් ලකුණු 32කට එක් කඩුල්ලක් බිඳ හෙළන්නත් සමත් වෙනවා. 83 ලෝක කුසලානයේ දී තුන් ඉරියව්වෙන් ම විශිෂ්ට දක්ෂතා පෙන්වපු Kapil විසින් පිත්තෙන් ලකුණු 303ක් (පස්වැනි ඉහළතම ලකුණු ලාභියා) සහ පන්දුවෙන් කඩුලු 12ක් (හයවැනි ඉහළම කඩුලු ලාභියා) ලබාගන්නත් සමත් වෙනවා. 

“පැවැත්ම එක් උරහිස් යුගයක් මත පමණක් රඳා පැවතුණු විටක තරගයකට සම්පූර්ණයෙන්ම බලපෑම් කළ මේ මට්ටමේ වෙනත් විශිෂ්ට දක්ෂතාවක් මට පෙන්වන්න. මම එය කිසිම මැසිවිලි නැගීමකින් තොරව පිළිගන්න සූදානම්.  

එතෙක් කිසිදු සැකයකින් තොරව හොඳම ලෝක කුසලාන දක්ෂතාව ලෙස මෙය මා වෙනුවෙන් රැඳේ වී 

මෙය ඉන්දීය සිහිනය සජීවී ව තබා ගත්තේ නැහැ, එය සිහිනය නිර්මාණය කළා. අපි දන්නවා මොකක්ද ඉන්පසුව සිදු වුනේ කියලා.” 

Kapil Devගේ මේ විශිෂ්ට දස්කම ගැන Cricket Monthly වෙත ලියන Sabit Bal විසින් ඒ විදිහටයි තමන්ගේ සටහන අවසන් කරන්නේ. 

අරවින්ද ද සිල්වා 

  • 1996 ලෝක කුසලානයේ දී ඉන්දියාව සමඟ පැවැත්වුණු අවසන් පූර්ව තරගයේ දී 
  • ලකුණු 66, කඩුලු 1 

1996 ලෝක කුසලානයේ වටිනාම ක්‍රීඩකයා බවට පත් වෙන්නේ සනත් ජයසූරිය විසින්. ඒත් අරවින්ද සනත්ට නොදෙවෙනි දක්ෂතා සමඟින් මේ තරගාවලියේ දී තෙවැනියට ඉහළම ලකුණු ලාභියා (ලකුණු 448) වගේම කඩුලු 4කුත් දවා ගන්න සමත් වෙනවා.  

තරගාවලියේ අවසන් මහා තරගයේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව පන්දුවෙන් කඩුලු තුනක්, පිත්තෙන් ලකුණු 107ක් සහ උඩ පන්දු දෙකක් රැක ගන්නත් ඔහු සමත් වෙනවා. 

මෙතෙක් ලෝක කුසලාන අවසන් මහා තරගයක ක්‍රීඩකයෙකු විසින් දක්වපු හොඳම දක්ෂතාවය විදිහට වුනත් අරවින්ද 96 දී දක්වපු මේ දක්ෂතාව හඳුන්වලා දෙන්න පුළුවන්. 

ඒ ඇරෙන්න ඔහු මේ තරගාවලියේ දී කෙන්යාවට එරෙහිව ලකුණු 145ක් ලබා ගන්නවා, සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 91ක් ලබා ගන්නවා. එහෙම වෙලත් ඇයි මේ ලකුණු 66 මෙතැනට තෝර ගන්නේ? 

ඉන්දියාවේ Eden Gardens ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඉන්දියාවට එරෙහිව පැවැත්වුණු මේ අවසන් පූර්ව තරගයේ දී පළමුව පන්දුවට පහර දෙන්න පිටියට පිවිසෙන ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුලු දෙක විදිහට සනත් සහ කළු දවා ගන්න ඉන්දියාව සමත් වෙන්නේ තරගයේ වාසිය සම්පූර්ණයෙන්ම තමන්ගේ පාර්ශවයට ගනිමින්. 

ඒ වගේම ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු තත්වය 35ක් වෙද්දී අසංක ගුරුසිංහවත් ක්‍රීඩාගාරයට හරවා යවන්න Javagal Srinath විසින් සමත් වෙනවා. 

ඉන්පසුව කඩුල්ලේ එකතු වෙන්නේ අරවින්ද සමඟින් රොශාන් මහානාම. එදා අරවින්ද විසින් ඉතා දැඩි පීඩනයක් යටතේ තිබුණු ශ්‍රී ලංකා ඉනිමට නොසිතූ විරූ ජීවයක් ලබා දුන්න විදිහ අනෙක් අන්තයේ ක්‍රීඩා කරමින් හිටපු මහානාම විසින් තමන්ගේ පොතේ මේ විදිහට විස්තර කරනවා. 

“අපේ තුන්වැනි කඩුල්ල ලකුණු 35 දී බිඳ වැටීමෙන් භයානක තත්වයකට මුහුණ පෑවෙමු. අපට ඉන්දීය වේගපන්දු යවන්නන්ගේ පන්දුවාර අවසන් වන තෙක් රැඳී සිටිමින්, නැවත තරගය අප නතු කර ගැනීමට සිදු විය. අතිවිශිෂ්ට ප්‍රතිප්‍රහාරයක් දියත් කළ අරවින්ද, විශ්මිත ආකාරයෙන් පහර පිට පහර එල්ල කරද්දී මම, මාගේ අන්තය ආරක්ෂා කර ගනිමින් රැඳී සිටීමට සමත් වීමී. කෝපාවිෂ්ට වූ ආකාරයකින් පන්දුවට පහර දුන් ඔහු, නැවත වරක් අපේ කණ්ඩායමට වාසිදායක තත්වයක් ලබා දුන්නේය. වෙන්කට් ප්‍රසාද්ගේ පළමු පන්දුවාර දෙක තුල දී ඔහු ලකුණු 22ක් ලබා ගැනීමට සමත් විය.” 

ඉනිමේ ලකුණු තත්වය ලකුණු 2 දී පිටියට පිවිසුණු අරවින්ද ඉනිමේ සිව්වැනි කඩුල්ල විදිහට පිටියෙන් ඉවත් වෙලා යන්නේ ලකුණු 85ක් ලකුණු පුවරුවට එකතු වෙද්දී. ඒ වෙද්දී අරවින්ද විසින් පන්දු 47කින් ලකුණු 66ක් ලබා ගන්න සමත් වෙලා තිබුණා. මේ ඉනිම හතරේ පහර 14කින් වර්ණවත් වුනා.

Four greatest cricket world cup performances96 ලෝක කුසලානය අතර මැද දී අරවින්දට ටිකක් බරින් වැඩි පිත්තක් අවශ්‍ය වුනා කියලා එවකට තේරීම් කමිටු සභාපති සිදත් වෙත්තමුණි මහතා කියනවා. 

“අරවින්ද කිව්වා, ‘ඔබ දන්නවා ද, Sachin Tendulkar ගොඩක් බර පිත්තක් පාවිච්චි කරනවා. සමහර විට මමත් මේ වගේ බර පිත්තක් පාවිච්චි කළොත් මටත් පන්දුව පිත්තට ලබා ගෙන හතරේ ඒවා ලබාගන්න පුළුවන් වේවි’ කියලා. 

ඔහු මීට පෙර කිසි දිනෙක මෙවැනි පිත්තකින් පන්දුවට පහර දීලා තිබුණේ නැහැ. ඔහු එය තම හිතුමතේට තෝර ගත්තේ. ඔබට එය විශ්වාස කරන්න පුළුවන් ද? 

මම ඒ ගැන සැක කළා, නමුත් මම කට වහගෙන හිටියා.” 

එදා වෙත්තමුණි විසින් නිශ්ශබ්දව සිටීම කෙතරම් වටිනවා ද කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අරවින්ද ඉන්දියාවට එරෙහිව දියත් කළ මේ ආක්‍රමණශීලී ඉනිම දකිද්දියි. 

ඔහු එදා ලබා ගත්තු ලකුණු 66න් ලකුණු 56ක්ම ලැබෙන්නේ හතරේ පහරවලින්. ඒ වගේම අධික ඉන්දීය ක්‍රිකට් ප්‍රේක්ෂක ප්‍රජාවක් මධ්‍යයේ සම්පූර්ණයෙන්ම ඉන්දියා පාර්ශවයට බර වුනු තරගයක අරවින්ද විසින් දියත් කළ මේ ඉනිම එදා තරගය ජයග්‍රහණය කරන්න ශ්‍රී ලංකාව ලද විශාලතම ආශීර්වාදය වුන බව සැක නැතිව කියන්න පුළුවන්. 

ඒ වගේම ඔහු මේ තරගයේ දී පන්දු යැවීමෙන් එක් කඩුල්ලක් බිඳ හෙළන්නත් සමත් වෙනවා. 

සමහර විට එදා අරවින්ද මේ ඉනිම දියත් නොකළා නම් ඔහුට ඕස්ට්‍රේලියාව සමඟ අවසන් මහා තරගයක් ක්‍රීඩා කරන්න ඉඩ නොලැබෙන්නත් ඉඩ තිබුණා. 

ඒ නිසයි The Cricket Monthly වෙනුවෙන් අරවින්දගේ ලකුණු 66 ගැන ලියන Andrew Fidel Fernando 96 අවසන් මහා තරගයේ දී අරවින්ද දැක්වූ තුන් ඉරියව් දක්ෂතාවලටත් වඩා ඉහළින් මේ ඉනිම තබන්නේ. 

“අවසන් තරගයේ දී අරවින්ද තමයි පැහැදිලි ජයග්‍රාහකයා. විශාල තරගයක දී (තීරණාත්මක තරගයක දී) මේ හැම දෙයක් ම කරපු වෙන කෙනෙක් නැහැ. ළඟට ආපු කෙනෙක් වත් නැහැ. 

නමුත් අපි (වෙනසකටත් එක්ක) මේ ලකුණු 66 නම් කරමු. 2023 දී ලකුණු පත්‍රිකාව කියවන විට නම් මෙය සාමාන්‍ය ලෙස පෙනෙන ඉනිමක්.  

නමුත් යුගයක් නිර්වචනය කිරීමේ දී එයින් නිර්භීත බවයි තාදීප්ත වෙන්නේ.” 

2023 ලෝක කුසලානය වෙනුවෙන් අතීත ලෝක කුසලාන මතක සටහන් විමසන තවත් ලිපියකින් මුණ ගැසෙමු. 

>>තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න<<