ඉන්දු – පාකිස්තාන ලෝක කුසලාන ගැටුමේ වෙනසක්

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය 2023

1504
Pakistan agree to World Cup schedule change,

මෙම වසරේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රධානතම තරගයක් වන ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගයේ දිනයේ වෙනසක් සිදු කර තිබෙන බව වාර්තා වෙනවා. 

තරගාවලියේ මූලික කාලසටහනට අනුව තරගය ඔක්තෝබර් 15 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් තරගය එයින් එක් දිනයක් ඉදිරියට ගෙන ඔක්තෝබර් 14 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා. 

ලෝක කුසලානයේ වෙනස් වූ කාලසටහන මෙතෙක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කර නොමැති වූවත්, මෙම සතියේ දී එය නිල වශයෙන් නිකුත් කිරීමට නියමිතව තිබෙනවා. 

එමෙන්ම මෙම වෙනස්කම් සඳහා පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවසරය ද හිමිව තිබෙන බව මාධ්‍ය වාර්තා කරනවා.  

මෙම වෙනස්කම් නිසා තරගාවලියේ පාකිස්තාන කාලසටහනේ තවත් තරගවල ද වෙනස්කම් කිරීමට සිදුව තිබෙන අතර ශ්‍රී ලංකාව සමඟ ඔක්තෝබර් 12 වැනිදා පැවැත්වීමට තිබූ තරගය ඔක්තෝබර් 10 වැනිදා දක්වා වෙනස් කර තිබෙනවා.  

ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය පැවැත්වීමට නියමිත අහ්මදාබාද් හී සංවිධානය කෙරෙන විශේෂ නවරාත්‍රි උත්සවයක් නිසා මෙම තරගයේ දිනය වෙනස් කරන බව ආරක්ෂක අංශ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට ප්‍රකාශ කර තිබූ නමුත් මින් පෙර ඉන්දීය ක්‍රිකට් ලේකම්වරයා සඳහන් කර තිබුණේ ආගමික උත්සවයක් තරග දිනයක් වෙනස් කිරීමට හේතුවක් නොවන බවයි.  

නමුත් පසුව අනෙක් කණ්ඩායම් ද තරගාවලියේ දින වෙනස් කරන ලෙස ඉල්ලා සිටි බව ඉන්දීය ක්‍රිකට් ලේකම්වරයා ප්‍රකාශ කර තිබූ අතර ඒ පිළිබඳව ඔවුන් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයට ලිඛිත ව දැන්වූ පසු ඔවුන් එයට එකඟව තිබෙනවා.  

මෙම දින වෙනස නිසා ඔක්තෝබර් 14 වැනිදා පැවැත්වීමට තිබූ තරගවලට බලපෑම් එල්ල වන අතර එයින් එක් තරගයක් නියමිත දිනට දිනයකට පෙර එනම් ඔක්තෝබර් 13 වැනිදා පැවැත්වීමට සැලසුම් කරන බව ද වාර්තා වෙනවා.  

ලෝක කුසලානය ආරම්භ වීමට මාස දෙකක් පමණක් තිබිය දී මෙලෙස කාලසටහන වෙනස් කිරීම ප්‍රේක්ෂකයින්ට ඉතා ගැටලු සහගත දෙයක් වෙනවා. 

මෙවර ලෝක කුසලානයේ කාලසටහන නිකුත් කිරීම ද ප්‍රමාද වූ අතර අවසන් ලෝක කුසලාන දෙකේ දී නිල තරග කාලසටහන තරගාවලියට මාස 12කට පමණ පෙර නිකුත් කර තිබුණා.  

තරගාවලිය ආරම්භ කරමින් නවසීලන්තය සහ එංගලන්තය ඔක්තෝබර් 05 වැනිදා තරග වැදීමට සැලසුම් කරන තිබෙන නමුත් මේ දක්වා තරගාවලියේ ප්‍රවේශ පත්‍ර නිකුත් කර දිනයක් සඳහන් කර නැහැ.  

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ . 

Espncricinfo ඇසුරිනි.  

>>තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<