දෙවැනි දිනයේ තරගාවලි වාර්තා හතරක්

63 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය 2023

264
63rd Junior National Championship

ජාතික මලල ක්‍රීඩා පිටිය උණුසුම් කරමින් පැවැත්වෙන 63 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ දෙවැනි දිනයේ තරග ඉසව් අද (08) පැවැත්වුණේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දීයි.

අද (08) දිනය අවසන් වන විට තවත් තරගාවලි වාර්තා හතරක් බිඳ හෙළීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

යොවුන් ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ ලබා ගත් රිද්මය එලෙසම පවත්වා ගනිමින් තරගාවලි වාර්තාවක් පිහිටුවීමට අඹගමුව මධ්‍ය මහා විද්‍යාලයේ අයෝමාල් අකලංකට හැකි වුනේ තත්පර 52.66ක කාලයකින් 18න් පහළ බාලක මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්ව අවසන් කරමිනුයි.

16න් පහළ බාලිකා මීටර් 300 කඩුලු පැනීම ඉසව්ව තත්පර 46.44ක කාලයකින් අවසන් කරමින් නව තරගාවලි වාර්තාවක් සමඟ ජයග්‍රහණය කිරීමට මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ එස්. හංසනීට හැකි වුනා.

කවපෙත්ත විසි කිරීමේ ඉසව්වේ ආධිපත්‍ය රඳවා ගනිමින් 23න් පහළ කවපෙත්ත විසි කිරීමේ ඉසව්ව ජයග්‍රහණය කිරීමට යාපනය Hartley විද්‍යාලයේ ක්‍රීඩක Suseenthi Kumar Mithunrajට හැකි වුනේ මීටර් 43.61ක දස්කමක් දක්වමිනුයි. එය නව තරගාවලි වාර්තාවක් ලෙස ද සටහන් වුනා.

අද දිනයේ බිඳ වැටුණු අනෙක් වාර්තාව බිඳ හෙළීමට සමත් වුනේ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ තරූෂ මෙන්ඩිස් විසිනුයි. 16න් බාලක උස පැනීම ඉසව්වට සහභාගී වූ ඔහු මීටර් 1.94ක දස්කමක් දැක්වූවා.

දිනයේ වැඩි අවධානයක් දිනා ගනිමින් පැවති මීටර් 200 ඉසව්වන්ගේ 16න් පහළ බාලිකා තරගය තත්පර 25.92ක කාලයකින් අවසන් කරමින් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ධනංජනා ප්‍රනාන්දු ජයග්‍රහණය කරද්දී, 18න් පහළ බාලිකා තරගය ජයග්‍රහණය එම පාසලේම ජිත්මා විජේතුංග (තත්පර 25.28) විසිනුයි.

අවුරුදු 20න් පහළ බාලිකා මීටර් 200 ඉසව්ව හොඳ තරගයකින් පසු ජයග්‍රහණය කිරීමට කොළඹ ගේට්වේ විද්‍යාලයේ දිනාරා බණ්ඩාර දෑළ (තත්පර 24.73) සමත් වූ අතර ගම්පහ සිරිකුරුස බාලිකා විද්‍යාලයේ ජයේෂි උත්තරා (තත්පර 25.06) විසින් දෙවැනි ස්ථානය දිනා ගත්තා.

නාලන්දා විද්‍යාලයේ ඩී. කරුණාරත්න 16න් පහළ මීටර් 200 ඉසව්ව තත්පර 23.03ක කාලයකින් අවසන් කර ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර 18න් පහළ තරගය ආසියානු ජාත්‍යන්තර පාසලේ ආතීෆ් මොහිදීන් විසින් දිනා ගැනීමට සමත් වුනේ තත්පර 22.74ක කාලයක් වාර්තා කරමිනුයි.

තත්පර 21.72ක කාලයකින් තරගය අවසන් කරමින් බාලක 20න් පහළ මීටර් 200 ඉසව්ව ජයග්‍රහණය කිරිමට මරදාන ආනන්ද විද්‍යාලයේ ආර්. අයි. විදූෂන්ට හැකි වෙද්දී යුද හමුදාව නියෝජනය කරන බී. අබේවර්ධන 23න් පහළ තරගය ජයග්‍රහණය (තත්පර 21.65) කළා.

>> තරගාවලියේ දෙවැනි දින ප්‍රතිඵල සටහන<<

63 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<