තවත් වාර්තා අලුත් වෙද්දී මිතුන්රාජ් තෙවැනි රන් පදක්කමට

63 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය 2023

255
63rd Junior National Championship Day 03

දේශීය කනිෂ්ඨ මලල ක්‍රීඩා පිටියේ දක්ෂයින් සොයා යන 63 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ තෙවැනි දිනය අද (09) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී සාර්ථකව නිමාවට පත්වුනා.

මූලික තරගවලට වැඩි ඉඩක් වෙන්වූ අද දිනයේත් තවත් තරගාවලි වාර්තා 02ක් බිඳ හෙළීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුනා.

තරගාවලියේ වැඩිම අවධානය දිනා ගත් ක්‍රීඩකයා බවට පත් වෙමින් සිය තෙවැනි රන් පදක්කම සඳහා හිමිකම් කියන්නට යාපනය Hartley විද්‍යාලයේ කුමාර් මිතුන්රාජ් සමත් වුනේ මිටිය විසි කිරීම ඉසව්වේ මීටර් 38.91ක දස්කමක් දක්වමිනුයි.

දිනයේ බිඳ වැටුණු පළමු වාර්තාව පිහිටුවමින් වයස අවුරුදු 23න් පහළ බාලිකා මිටිය විසි කිරීම ඉසව්වේ මීටර් 40.00ක දස්කමක් දක්වමින් ජයග්‍රහණය කිරීමට යටියන මධ්‍ය මහා විද්‍යාලයෙ නිතින්සා මන්දනී ක්‍රීඩිකාව සමත් වුනා.

එම ඉසව්වේ 18න් පහළ බාලිකා තරගයට සහභාගී වූ නුගේගොඩ අනුලා විද්‍යාලයේ යුතාරා ජයවීර මීටර් 36.79ක දස්කමක් දක්වමින් තරගාවලි වාර්තාවක් බිඳ හෙළන්නට සමත් වුනා.

දිනය ආරම්භ කරමින් පැවති 20න් පහළ බාලක මීටර් 10,000 ඉසව්ව කිලිනොච්චි ක්‍රීඩක සුමන් කීරන් (මිනිත්තු 35:35.92) විසින් ජයග්‍රහණය කරද්දී, 23න් පහළ තරගයේ ජයග්‍රහණය හිමි වුනේ ඒ. ප්‍රනාන්දු (මිනිත්තු 33:29.62) හටයි.

කනිෂ්ඨ මලල ක්‍රීඩා පිටියේ වැඩි අවධානය දිනා ගත් ක්‍රීඩිකාවක් වන මදුශානි හේරත් 20න් පහළ බාලිකා දුර පැනීමේ ඉසව්ව මීටර් 6.06ක දස්කමක් සමඟ ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

>> තරගාවලියේ මෙතෙක් තරග ප්‍රතිඵල << 

63 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<