අරුණගෙන් ජපානයේ දී තවත් සුපිරි ධාවනයක්

266

ලෝක මලල ක්‍රීඩා මහද්වීපික සංචාරය යටතේ ජපානයේ අද (06) පැවති 10th Kinami Michitaka Memorial Athletics Meet තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අරුණ දර්ශන සහ නිලානි රත්නායක සහභාගී වුනා.

ලෝක මට්ටමේ තරගාවලියක් වන මෙම තරගාවලියේ පිරිමි මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය දිනා ගැනීමට අරුණ දර්ශනට හැකියාව ලැබුණා.

අරුණ සිය ඉසව්ව තත්පර 45.49ක කාලයකින් අවසන් කරමින් එම ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වූ අතර එය ඔහු එම ඉසව්ව සඳහා වාර්තා කළ පෞද්ගලික හොඳම කාලය ලෙස සටහන් වීම විශේෂත්වයක්.

අවසන් තරග තුනකින් සමන්විත වූ මෙම තරගයේ ක්‍රීඩකයින් වාර්තා කළ කාලයන් අනුව ජයග්‍රාහකයින් තෝරා ගැනීමට කටයුතු කළ අතර තත්පර 45.39ක කාලයකින් ඉසව්ව නිමා කළ ජපාන ක්‍රීඩක Yuuki Nakajima එහි පළමු ස්ථානය දිනා ගත්තා.

අරුණ ජපාන සංචාරයේ සහභාගී වූ දෙවැනි තරගය මෙය වූ අතර පසුගිය දා පැවති ලෝක මට්ටමේ තරගයක මීටර් 400 ඉසව්ව තත්පර 45.59ක කාලයකින් අවසන් කරමින් තෙවැනි ස්ථානය දිනා ගැනීමට ද ඔහුට හැකි වුනා.

මෙම තරගාවලියේ දැක්වූ දස්කම සමඟ දින තුනක් තුළ සිය පෞද්ගලික හොඳම දක්ෂතාව අලුත් කිරීම අරුණට හැකි වීම ද විශේෂත්වයක්.

අරුණගේ තරගයෙන් පසු නිලානි රත්නායක කාන්තා මීටර් 3000 බාධක දිවීමේ ඉසව්ව නියෝජනය කරමින් තරග පිවිසියා. සටන්කාමී ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කරමින් එම තරගය මිනිත්තු 10:02.90ක කාලයකින් අවසන් කළ ඇය තරගය අවසන් කළේ සිව්වැන්නා ලෙසයි.

මෙම තරගාවලි ක්‍රීඩකයින්ට සිය ශ්‍රේණිගත කිරීමේ ඉහළට පැමිණීමට සහ ලෝක මලල ක්‍රීඩා ශූරතාවයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට ඉතා වැදගත් වෙනවා.

දේශීය සහ ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<