ශ්‍රේෂාන් ජාතික වාර්තාවක් අලුත් කරයි

58 වැනි යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවය 2023

138

දේශීය මලල ක්‍රීඩා පිටිය උණුසුම් කරමින් දින තුනක් පුරාවට දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවති 58 වැනි යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවය අදින් (31) අවසන් වුනා.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඉහළ දස්කම් දැක ගැනීමට හැකි වූ මෙම තරගාවලියේ දී ජාතික වාර්තා හතරක් සහ තරගාවලි වාර්තා රැසක් බිඳ හෙළීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි වීම කැපී පෙනුණා.

තරගාවලියේ තෙවැනි දිනය වූ අද (31) උදෑසන පැවති පිරිමි තුන් පිම්ම පැනීම ඉසව්වේ තමන්ගේම ජාතික වාර්තාව (මීටර් 16.71) අලුත් කරමින් මීටර් 16.72ක දස්කමක් වාර්තා කිරීමට ශ්‍රේෂාන් ධනංජය සමත් වුනා.

කාන්තා තුන් පිම්ම ඉසව්වේ ද ඉහළ දස්කම් දක්වමින් තරගය ජයග්‍රහණය කිරීමට රන්දි කුරේ සමත් වුනා. එම ඉසව්වේ ඇය මීටර් 13.51ක දස්කමක් දැක්වූ අතර එය තරගාවලි වාර්තාවක් වීම ද විශේෂත්වයක්.

තරගාවලියේ වාර්තා කළ තවත් ජයග්‍රහණයක් ලබා ගැනීමට නිලානි රත්නායකට හැකි වුනේ කාන්තා මීටර් 5000 තරගාවලි වාර්තාව ද අලුත් කරමිනුයි. නිලානි එම තරගය මිනිත්තු 16:03.16ක කාලයකින් අවසන් කළා.

මෙවර තරගාවලියේ තවත් තරගාවලි වාර්තාවක් සටහන් කරමින් කාන්තා මීටර් 400 ඉසව්ව ජයග්‍රහණය කිරීමට නදීෂා රාමනායකට හැකි වුනා. ඇය වාර්තා කළ කාලය තත්පර 53.38ක්.

තරගාවලියේ වේගවත්ම ඉසව්ව වන මීටර් 100 ඉසව්වේ පිරිමි අදියර තත්පර 10.44ක කාලයකින් අවසන් කරමින් තරගාවලි වාර්තාව සම කිරීමට චමෝද් යෝධසිංහට හැකි වුනා.

තත්පර 12.04ක කාලයකින් කාන්තා මීටර් 100 ඉසව්ව ජයග්‍රහණය කරමින් මෙවර තරගාවලියේ වේගවත්ම ක්‍රීඩිකාව බවට පත් වීමට Safia Yamicට හැකි වුනා.

පිරිමි මීටර් 10,000 ඉසව්ව මිනිත්තු 30:55.43ක කාලයකින් අවසන් කරමින් ජයග්‍රහණය කිරීමට කේ. සම්මුගේස්වර්න් සමත් වෙද්දී, පිරිමි උස පැනීම ඉසව්ව යූ. කුමාර ජයග්‍රහණය කළේ මීටර් 2.15ක කාලයකින් තරගය අවසන් කරමිනුයි.

කාන්තා හෙල්ල විසි කිරීම ඉසව්වේ ආධිපත්‍ය රඳවා ගනිමින් ජයග්‍රහණය වාර්තා කිරීමට නදීකා ලේකම්ගේට හැකි වූ අතර ඇය එහි දී දැක්වූ දස්කම 55.98ක්.

>>තරගාවලියේ සමස්ත ප්‍රතිඵල <<

දේශීය සහ ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ සියලු තොරතුරු දැන ගැනීම සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වනThePapare.com සමඟම.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<