වාර්තාවක් සමඟ යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවය ඇරඹෙයි

58 වැනි යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවය 2023

177

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පිටියේ තවත් අවධානය දිනා ගත් තරගාවලියක් වන යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවය අද (29) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.

දිනය ආරම්භ කරමින් පැවති කාන්තා මීටර් 10,000 ඉසව්ව නව තරගාවලි වාර්තාවක් සමඟ ජයග්‍රහණය කිරීමට පී. ඩ්බ්. හේරත් ක්‍රීඩිකාවකට හැකි වුනේ මිනිත්තු 36:00.07ක කාලයකින් තරගය අවසන් කරමිනුයි.

මිනිත්තු 36:47.60ක කාලයකින් ඉසව්ව අවසන් කළ චාමිනී හේරත් දෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර මිනිත්තු 39:03.21ක කාලයකින් ඉසව්ව නිමා කළ කේ. සුගතපාල තෙවැනි ස්ථානය දිනා ගත්තා.

පිරිමි මීටර් 5,000 ඉසව්වේ ජයග්‍රහණය ඩී. එස්. දිසානායක (මිනිත්තු 14:57.79) හට හිමි වූ අතර දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් ඩී. සී. ගුණසේකර (මිනිත්තු 14:58.19) සහ එම්. යූ. කුමාර (මිනිත්තු 14:58.27) විසින් දිනා ගත්තා.

මිනිත්තු 4:20.51ක කාලයකින් කාන්තා මීටර් 1,500 ඉසව්ව අවසන් කරමින් පළමු ස්ථානය දිනා ගැනීමට ජාතික ක්‍රීඩිකා නිලානි රත්නායක සමත් වූ අතර මිනිත්තු 4:26.02ක කාලයකින් තරගය අවසන් කළ එස්. ලක්ෂානි දෙවැනි ස්ථානයත්, මිනිත්තු 4:51.25ක කාලයකින් තරගය අවසන් කළ එම්. නිදර්ශනී තෙවැනි ස්ථානයත් දිනා ගත්තා.

පිරිමි හෙල්ල විසිකිරීම ඉසව්වේ ජයග්‍රහණය මීටර් 69.82ක දුරක් වාර්තා කළ ආර්. රතූසන් විසින් දිනා ගැනීමට සමත් වූ අතර මිටිය විසි කිරීමේ ඉසව්වේ මීටර් 48.44ක දුරක් වාර්තා කළ ඒ. එස්. බණ්ඩාර විසින් පළමු ස්ථානය දිනා ගත්තා.

කාන්තා රිටි පැනීම ඉසව්වේ මීටර් 3ක දස්කමක් දැක්වූ ඒ. එස්. පෙරේරා පළමු ස්ථානය දිනා ගනිද්දී, කාන්තා කවපෙත්ත විසි කිරීමේ ඉසව්ව ජයග්‍රහණය කළේ ඒ. එන්. දිලරුක්ෂි (මීටර් 39.51) විසිනුයි.

>> පළමු දිනයේ තරග ප්‍රතිඵල සහ ප්‍රසාද ලකුණු සටහන <<

58 වැනි යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවය මාර්තු 31 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<