ශ්‍රී ලංකා පැරා මලල ක්‍රීඩකයින් ඕස්ට්‍රේලියාවට

ඕස්ට්‍රේලියා ජාතික විවෘත මලල ක්‍රීඩා ශූරතාවය 2023

175

ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත ඕස්ට්‍රේලියා ජාතික විවෘත මලල ක්‍රීඩා ශූරතාවය සඳහා සහභාගී වීමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් තිදෙනෙක් පිටත්ව ගොස් තිබෙනවා.

මාර්තු 30 වැනිදා සිට අප්‍රේල් 03 වැනිදා දක්වා මෙම තරගාවලිය පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා දිනේෂ් ප්‍රියන්ත, සමිත දුලාන් සහ පාලිත බණ්ඩාර යන ක්‍රීඩකයින් සහභාගී වීමට නියමිතයි.

මොවුන් ලබන වසරේ පැවැත්වීමට නියමිත පැරාලිම්පික් උළෙලේ ප්‍රධාන පදක්කම් බලාපොරොත්තු සහිත ක්‍රීඩකයින් වනවා.

දිනේෂ් ප්‍රියන්ත 2020 පැරාලිම්පික් උළෙලේ F46 හෙල්ල විසි කිරීමේ ඉසව්ව (මීටර් 67.79) ලෝක වාර්තාවක් සමඟ රන් පදක්කමකින් අවසන් කරන්නට සමත් වූ අතර 2016 පැරාලිම්පික් උළෙලේ ද ඔහු ලෝකඩ පදක්කමක් දිනා ගත්තා.

එම තරගාවලියේම  F64 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වට සහභාගී වූ සමිත දුලාන් එහි ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර කණ්ඩායමට ඇතුළත් අනෙක් ක්‍රීඩකයා වන පාලිත බණ්ඩාර 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කවපෙත්ත විසි කිරීම ඉසව්වේ රිදී පදක්කම දිනා ගන්නට සමත් වුනා.

මෙම කණ්ඩායමේ වගකීම ක්‍රීඩකයින්ගේ පුහුණුකරු වන ප්‍රදීප් නිශාන්ත මහතාට පැවරී ඇති අතර ඔහු ද සිය කණ්ඩායම සමඟ තරගාවලියට පිටත්ව ගොස් තිබෙනවා.

2024 පැරාලිම්පික් උළෙලට සුදුසුකම් සපුරාලීමට සහ සූදානම් වීමට මෙම තරගාවලිය ක්‍රීඩකයින්ට හොඳ අවස්ථාවක් වන අතර තරගාවලියේ තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>>  තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<