දෙවැනි දිනයේ දී ජාතික සහ තරගාවලි වාර්තා 6ක්!

58 වැනි යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවය 2023

289

මේ දිනවල දියගම දී පැවැත්වෙන 58 වැනි යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවයේ දෙවැනි දිනය වූ අද (30) දිනය අවසන් වන විට තරගාවලි වාර්තා තුනක් සහ ජාතික වාර්තා තුනක් පිහිටුවීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුනා.

උදෑසන පැවති පිරිමි මීටර් 200 ඉසව්ව තත්පර 20.64ක කැපී පෙනෙන කාලයකින් අවසන් කරමින් නව තරගාවලි වාර්තාවක් සමඟ තරගය ජයග්‍රහණය කිරීමට අරුණ දර්ශන සමත් වුනා.

මෙය ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු මීටර් 200 ඉසව්ව සඳහා වාර්තා කළ දෙවැනි වේගවත්ම කාලය වූ අතර එය දෙවැනි වන්නේ යුපුන් අබේකෝන් විසින් පසුගිය වසරේ පිහිටවූ ජාතික වාර්තාවට (තත්පර 20.36) පමණයි.

එමෙන්ම මෙම කාලය මීටර් 200 ඉසව්ව සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකාව තුළ වාර්තා කළ වේගවත්ම කාලය වන අතර මීට පෙර විනෝජ් සුරංජය විසින් මීටර් 200 ඉසව්ව තත්පර 20.68ක කාලයකින් අවසන් කරමින් ශ්‍රී ලංකාව තුළ වාර්තා වූ වේගවත්ම කාලය පිහිටුවා තිබුණා.

මෙය අරුණ දර්ශන එම ඉසව්ව සඳහා මෙතෙක් වාර්තා කළ පෞද්ගලික හොඳම කාලය වූ අතර මීට පෙර ඔහුගේ පෞද්ගලික හොඳම කාලය දැක්වුණේ තත්පර 20.91ක් ලෙසයි.

උදෑසන වරුවේ පැවති කාන්තා මීටර් 10,000 ඇවිදීම ඉසව්ව මිනිත්තු 49:25.97ක කාලයකින් අවසන් කරමින් නව ජාතික වාර්තාවක් පිහිටුවීමට වී. කේ, මදරිකාට හැකි වූ අතර එහි පිරිමි ඉසව්වේ ද ජාතික වාර්තාව අලුත් කිරීමට එස්. එල්. ප්‍රනාන්දුට හැකි වුනේ මිනිත්තු 45:12.22ක කාලයකින් තරගය අවසන් කරමිනුයි.

පිරිමි රිටි පැනීම ඉසව්වේ ජාතික වාර්තාවට හිමිකම් කියූ කේ. පුවිතරන් (පෙර ජාතික වාර්තාව මීටර් 5.15) පරාජය කරමින් රිටි පැනීම ඉසව්වේ ජාතික වාර්තාව බිඳ හෙළීමට එරංග ජනිත් සමත් වුනා. එම තරගයේ දී ඔහු දැක්වූ දස්කම මීටර් 5.16ක්.

දිගු කලක් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පිටියේ දක්නට නොලැබුණු ජාතික ක්‍රීඩිකා ඩිල්ෂි කුමාරසිංහ සිය නැවත පැමිණීම සටහන් කළේ කාන්තා මීටර් 800 ඉසව්ව තත්පර 2:04.89ක කාලයකින් තරගය අවසන් කරමිනුයි. එය එම ඉසව්වේ තරගාවලි වාර්තාව ඉක්මවා යන දස්කමක් වීම ද කැපී පෙනුණා.

දිනයේ වාර්තා වූ අනෙක් වාර්තාව බිඳ හෙලුවේ ජාතික ක්‍රීඩිකා නිලානි රත්නායක විසිනුයි. සිය සුපුරුදු ඉසව්ව වන කාන්තා මීටර් 3,000 ඉසව්ව මිනිත්තු 9:55.20ක කාලයකින් අවසන් කරමින් ඇය ඉසව්වේ ජාතික වාර්තාව අලුත් කළා.

>> තරගාවලියේ දෙවැනි දිනයේ තරග ප්‍රතිඵල සහ ප්‍රසාද ලකුණු සටහන<<

58 වැනි යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවයේ තෙවැනි සහ අවසන් දිනයේ තරග හෙට (31) පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<