Messi විසින් Ronaldinhoගේ ණය නොගෙවන ලකුණු

140
Football News

Ronaldinhoව නිදහස් කරගැනීම සඳහා ඔහුගේ ණය මුදල් සියල්ල Messi විසින් ගෙවා දැමීමට සූදානම් බවට පැතිරී ගිය කටකතා වල සත්‍යතාවයක් නොමැති බව වාර්තා වේ. 

බ්‍රසීලයේ හිටපු සුපිරි පාපන්දු ක්‍රීඩකයෙකු වන Ronaldinho සහ ඔහුගේ වැඩිමහල් සොහොයුරා මේ වන විට පැරගුවේ රාජ්‍යයේ බන්ධනාගාර ගත කර සිටින්නේ එරටට ව්‍යාජ ගමන් බලපත්‍ර භාවිතා කරමින් ඇතුල් වීමට තැත්කිරීමේ සිදුවීමකට අදාළව යි. ඊට අදාළ චෝදනා ප්‍රතික්‍ෂේප කරමින් එම ගමන් බලපත්‍ර ව්‍යාජ බව නොදැන ඒවා ලබා ගත් බව ඔවුන් පැවසීය. ඒත් සමඟම ඊට අදාළව සිදුවෙමින් පවතින පරීක්‍ෂණ කටයුතු අවසන් වනතුරු උපරිමය මාස 6කට යටත් වන ලෙස ඔවුන් දෙදෙනා බන්ධනාගාර ගතකිරීමට, නඩුව විභාගයට ගත් විනිසුරුවරයා තීරණය කළේ ඇප ඉල්ලුම් සහ නිවාස අඩස්සියට යටත් කරන ලෙස කළ ඉල්ලීම් ද ප්‍රතික්‍ෂේප කරමිනි. 

මෙම පුවත සැලවීමත් සමඟ ආජන්ටිනාවේ සහ ස්පාඤ්ඤයේ FC Barcelona පාපන්දු සමාජයේ සුපිරි ක්‍රීඩක Lionel Messi විසින් Ronaldinhoගේ සියලුම ණය සහ දඩ මුදල් ගෙවා දැමීමට සූදානම් බවත් ඔහුව මෙම නඩුවෙන් නිදහස් කර ගැනීමට ප්‍රබල නීතීඥයින් සිව් දෙනෙකු යෙදවීමට අවශ්‍ය මුදල් ලබා දීමට සූදානම් බවත් විදේශීය මාධ්‍ය වාර්තා කරන්නට විය. මේ සඳහා Messi හට ඩොලර් මිලියන 3කට අධික මුදලක් වැයවනු ඇති බව ද එම වාර්තා වල වැඩිදුරටත් සටහන්ව තිබුනි. 

කෙසේ නමුත් පළවී ඇති නවතම වාර්තා වලට අනුව Ronaldinho මෙම සිටින තත්වය පිළිබඳව Messi දැඩි කණගාටුවකින් පසුවුවත් ඔහුගේ උපදේශකයින් විසින් ඔහුට උපදෙස් ලබාදී ඇත්තේ මේ අවස්ථාවේ දී Ronaldinho හට මූල්‍යමය වශයෙන් උදව් ලබා දෙමින් ඒ කෙරෙහි මැදිහත් නොවන ලෙසයි. ඒ අනුව ස්පාඤ්ඤ මාධ්‍ය පසුගියදා වාර්තා කරනු ලැබුවේ Messi විසින් Ronaldinho නිදහස් කරගැනීම සඳහා එම අදාළ මුදල් යෙදවීමට නියමිත බව පවසමින් පැතිර ගිය පුවත් අසත්‍ය ඒවා වන බවයි. 

Ronaldinho 2003 වසරේ සිට 2008 වසර දක්වා Barcelona කණ්ඩායමේ ක්‍රීඩා කරනු ලැබූ අතර 2004 වසරේ Messi, Barcelona කණ්ඩායම වෙනුවෙන් සිය මංගල තරගය ක්‍රීඩා කරන විටත් Ronaldinho ලොව දක්‍ෂතම ක්‍රීඩකයින් අතරින් කෙනෙකු ලෙස සිය ස්ථානය ස්ථාපිත කරගෙන තිබුනි. අනතුරුව දෙදෙනා එහි වසර 5ක පමණ කාලයක් එකට ක්‍රීඩා කිරීමත් සමඟ ඔවුන් අතර ඉතා සමීප මිතුදමක් ගොඩනැඟුනු අතර එය අදටත් ඒ ආකාරයටම පවතින බව නොරහසකි. 

Ronaldinho සහ Messi FC Barcelona කණ්ඩායම නියෝජනය කරමින්

අනෙක් පසින් Messi පාපන්දු ලොව බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩකයින් අතරින් කෙනෙකු ලෙස සිය නාමය ස්ථාපිත කරගැනීමේ ගමන්මගේ ආරම්භයේ දී Ronaldinhoගෙන් ඔහු හට ලැබුනු ගුරුහරුකම් ඉතා වැදගත් විය. 

Ronaldinho විසින් බ්‍රසීලයේ Porto Alegre නුවර ඔහු සතු නිවසක පරිසර නීතිය උල්ලංඝණය කරමින් සිදුකළ ඉදිකිරීමේ කටයුත්තකට අදාළව යූරෝ මිලියන 2.2ක දඩයක් පැනවීමට එරට අධිකරණයක් තීරණය කරනු ලැබූ අතර ඔහුගේ අනෙක් නොගෙවූ බදු සහ ණය මුදල් වල ප්‍රමාණය යූරෝ මිලියන 1.8ක මුදලක් ඉක්මවන බව ද වාර්තා වේ. ඒත් සමඟම හෙළිවූ කරුණක් වූයේ මෙම බදු, දඩ සහ ණය මුදල් ඔහු විසින් ගෙවා නොදැමීම හේතුවෙන් ඔහුගේ බ්‍රසීල සහ ස්පාඤ්ඤ විදේශ ගමන් බලපත්‍ර රාජසන්තක කර ඇති බවත් ඔහු සතුව ඇති දේපළ 57ක ප්‍රමාණයක් විකිණීම ඔහුට තහනම් කර ඇති බවත්ය. ඒ අනුව මේ සියල්ල හමුවේ Ronaldinho මේ වන විට දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ පා ඇත. 

කෙසේ නමුත් Ronaldinho මේ වන විට පැරගුවේ රාජ්‍යයේ බන්ධනාගාර ජීවිතයට කෙමෙන් කෙමෙන් හැඩ ගැසෙමින් සිටින අතර ඊයේ (21) දිනට යෙදී තිබුනු ඔහුගේ උපන් දිනයට එහි සිටින අනෙක් රැඳවියන් විසින් ඔහු වෙනුවෙන් කුඩා සාදයක් ද සූදානම් කර තිබුනි. 

තවත් කියවන්න;

එම සිදුවීමට අදාළ පරීක්‍ෂණය නියමිත බලධාරීන් විසින් මේ වන විට සිදුකර ගෙන යන නමුත් නව කොරෝනා වසංගත තත්වය හේතුවෙන් උදාවී ඇති ගැටලුකාරී තත්වය සහ අධිකරණ කටයුතු කල් දැමීමට සිදුව තිබීමත් සමඟ Ronaldinhoට මෙන්ම ඔහුගේ සොහොයුරාටත් නියමිත මාස 6ක කාලය ඉක්මවමින් බන්ධනාගාර ගතව සිටින්නට සිදුවනු ඇති බවට ද වාර්තා පළවේ. 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<