සහෝදරයන්ගේ එක්දින ගැටුමේ ජය තර්ස්ටන් විද්‍යාලයට

44th Battle of the Brothers One Day Encounter 2024

68

කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය අතර 44 වැනි වරට පැවැත්වුණු ඩබ්ලිව්.ඒ. ද සිල්වා අභියෝගතා කුසලානය ජයග්‍රහණය කිරීමට කොළඹ තර්ස්ටන් විද්‍යාලය අද (17) සමත් වුනා.

කොළඹ පී.සරා ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද උදෑසන ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය ඉසිපතන නායක සිතුක ගුණවර්ධන සතු වූ අතර, ඔහුගේ තීරණය වුනේ පළමුව පන්දු යැවීමයි.

ඒ අනුව තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් දිනාල් ඉඳුවර සහ තනුජ රාජපක්ෂ ඉනිම ආරම්භ කළ අතර, ඔවුන් දෙදෙනා විසින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 44ක් එක් කිරීමට සමත් වුනා. තනුජ ලකුණු 27කට දැවී යාමෙන් අනතුරුව පිටියට පිවිසි පැතුම් ධනංජයගේ ඉනිම ද ලකුණු 9කට සීමා වුනා. කෙසේ වෙතත් මේ අතරේ දිනාල් ඉඳුවර සිය අර්ධ ශතකය සම්පූර්ණ කර ගැනීමට සමත් වුනා. නමුත් ඔහු ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 59ක් ලබා සිටිය දීයි.

කෙසේ වෙතත් ඉන් අනතුරුව කඩුල්ලේ එක් වූ නායක විහස් තෙව්මික සහ ශානික්‍ය දේශප්‍රිය විසින් තර්ස්ටන් සිව් වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 107ක අගනා වටිනා සබඳතාවක් පැවැත්වීමට සමත් වූ අතර, මෙහි දී ශානික්‍ය පන්දු 48කින් ලකුණු 50ක් වාර්තා කිරීමට සමත් වුනා. එමෙන්ම විහස්ගේ පිත්තෙන් ලකුණු 61ක් ඉනිමට එක් වුනා.

මෙම සබඳතාවේ පිහිටෙන් තර්ස්ටන් පිතිකරුවන් විසින් ඉසිපතන විද්‍යාලයට ලකුණු 252ක අභියෝගාත්මක ඉලක්කයක් ලබා දීමට සමත් වුනා. මෙහි දී තර්ස්ටන් පිතිකරුවන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කළ චනුල් දිනෝත් සහ සිතුක ගුණවර්ධන කඩුලු 3 බැගින් බිඳ හෙළීමට සමත් වුනා.

තර්ස්ටන් විද්‍යාලයෙන් ලද ඉලක්කය හඹා යාම සඳහා පිටියට පිවිසි ඉසිපතන පළමු කඩුල්ල ලකුණු 4දී දැවී ගියත් ඉන් පසුව රුචිත් රොද්‍රිගෝ සහ තරුශ්ක අශෙල් ලකුණු 66ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා.

කෙසේ වෙතත් තරුශ්ක ලකුණු 24කට සහ රුචිත් ලකුණු 47කට දැවී යාමෙන් පසුව ඉසිපතන ඉනිම නොසිතූ බිඳ වැටීමකට ලක් වුනා. එම දෙදෙනා පිටියෙන් ඉවත් වීමෙන් පසුව නැවත ලකුණු 10 සීමාව හෝ ඉක්මවා යෑමට සමත් වුනේ ලකුණු 39ක් ලබා ගත් මලීෂ සඳරුවන් පමණයි.

මේ අනුව නියමිත පන්දුවාර 50 නිමා වීමටත් ප්‍රථම ඉසිපතන සියලු ක්‍රීඩකයින් දවා ගැනීමට තර්ස්ටන් පන්දු යවන්නන් විසින් සමත් වුනා. මෙහි දී විශ්ව ධනංජය කඩුලු 4ක් සහ තනුග පලිහවඩන කඩුලු 3ක් දවා ගනිමින් තර්ස්ටන් ජය තහවුරු කළා.

මේ අනුව මෙම එක්දින තරගයෙන් ලකුණු 99ක ජයග්‍රහණයක් හිමි කර ගැනීමට කොළඹ තර්ස්ටන් විද්‍යාලය විසින් සමත් වුනා.

  • හොඳම පන්දු රකින්නා – චනුල් දිනෝත් (ඉසිපතන විද්‍යාලය)
  • හොඳම පිතිකරුවා – දිනාල් ඉඳුවර (තර්ස්ටන් විද්‍යාලය)
  • හොඳම පන්දු යවන්නා – සිතුක ගුණවර්ධන (ඉසිපතන විද්‍යාලය)
  • තරගයේ වීරයා – විහස් තෙව්මික (තර්ස්ටන් විද්‍යාලය)

පාසල් ක්‍රිකට් පිටියේ උණුසුම ඔබ වෙත සමීප කිරීමට ThePapare නිරන්තරයෙන් සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<