කුලරත්න – දේවපතිරාජ රණ ශූරයන්ගේ සංග්‍රාම භූමියත් සූදානම්

3rd Battle of the Warriors

68

අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලයට අතර තෙවැනි වරටත් පැවැත්වෙන “රණ ශූරයන්ගේ සටන” වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 06 සහ 07 දෙදින අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

මෙතෙක් පැවැති තරග ද්විත්වය ම විසඳුමකින් තොරව අවසන් වීම හේතුවෙන් මෙම තරගයේ දී ජයග්‍රහණය අපේක්ෂාවෙන් දෙවිදුහල් ක්‍රීඩකයෝ පිටියට පිවිසෙනු ඇත. ඒ සඳහා සටන්කාමී රණ ශූරයන් කිහිප දෙනෙක් ම දෙවිදුහල් ම සතුයි.

සටනට එක් වෙන පී. ද එස්. කුලරත්න විද්‍යාලයට නායකත්වය ලබා දෙන්නේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ යොවුන් කණ්ඩායම ද නියෝජනය කළ රවිශාන් ද සිල්වා යි. ඔහුගේ සහායකයා ලෙසින් මහීෂ ප්‍රභාෂන කටයුතු කරනවා.

දේවපතිරාජ විද්‍යාලයීය කණ්ඩායමේ නායකත්වයේ කටයුතු කරන්නේ චමින්ද සඳරුවන් වන අතර ඔහුගේ සහායකයා ලෙසින් පැතුම් ශමින්ද එක් වෙනවා.

දෙවිදුහල් හී ක්‍රිකට් ඉතිහාසයේ දේවපතිරාජ විද්‍යාලයට හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයක්. ඔවුන් දශකය පමණ කාලයක දී ඉතා ඉක්මනින් ම පාසල් ක්‍රිකට් පිටියේ පළමු පෙළ තරගාවලිය දක්වා උසස් වීම්වලට ලක් වීමට සමත් වූ කණ්ඩායම්වලින් සමන්විත වූවා.

පි. ද එස්. කුලරත්න විද්‍යාලය ද මෑත කාලයේ දෙවැනි පෙළ පිටියේ වඩාත් දක්ෂතා දක්වන කණ්ඩායමක් ලෙසින් හැඳින්වෙනවා. ඔවුන් 2022 වසරේ දී දෙවැනි පෙළ අන්තර් පාසල් එක්දින ක්‍රිකට් තරගාවලියේ හොරණ තක්ෂිලා විද්‍යාලය සමඟින් සම ශූරයන් වන අතර ඊට පසු වසරේ දී තක්ෂිලා විද්‍යාලය පරාජය කරමින් ම ශූරයන් වීමට සමත් වීමේ ඉතිහාසයකින් ද හෙබියි.

දෙවිදුහල් ඉතිහාසයේ වඩාත් කතා බහට ලක් වූ ක්‍රීඩකයා බවට පත් වූයේ රත්ගම දේවපතිරාජයෙන් බිහි වූ දකුණතින් පිට දඟ පන්දු යැවූ තරිඳු කෞෂාල්. ඔහු මෙරට වෙනුවෙන් ටෙස්ට් තරග 7කට සහ එක්දින ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කිරීමට වරම් ලැබූ ක්‍රීඩකයෙක්. ඊට අමතර ව දේවපතිරාජයෙන් බිහි වූ ක්‍රීඩකයන් බොහෝ ප්‍රමාණයක් මෙරට වයස අවුරුදු 19න් පහළ යොවුන් කණ්ඩායමේ මෙන් ම පළමු පෙළ ක්‍රිකට් පිටියේ ද දක්ෂතා දක්වනවා.

පී. ද එස්. කුලරත්න විද්‍යාලයෙන් බිහි වූ සුවිශේෂී ක්‍රීඩකයා බවට පත් විමට නිපුන් රංසික සමත් වෙනවා. ඔහු ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ යොවුන් කණ්ඩායමේ මෙන් ම ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ ද සාමාජිකයෙක් ලෙසින් කුලරත්න නාමය ජාතික ක්‍රිකට් පිටියට ගෙන එමින් එම නාමය බැබලවූවා.

පී. ද එස්. කුලරත්න විද්‍යාලය

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි පෙළ තරගාවලියට එක් ව සිටින පී. ද එස්. කුලරත්න විද්‍යාලය මෙවර සාර්ථක ගමනක නිරත ව සිටිනවා.

ඔවුන් නිමා කළ තරග අතුරින් හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයට එරෙහිව කඩුලු 10ක ජයක්, කෑගල්ල සාන්ත මරියා විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 160ක ජයක්, තෝලංගමුව ඩඩ්ලි සේනානායක විද්‍යාලයට එරෙහිව කඩුලු 4ක ජයක්, මාතර රාහුල විද්‍යාලයට එරෙහිව ලකුණු 71ක ජයක්, මහනුවර කිංස්වුඩ් විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 130ක ජයක්, හේනේගම මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව කඩුලු 9ක් ජයක් සහ ජාඇල ක්‍රිස්තු දේව විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 64ක ජයක් ලෙසින් ජයග්‍රහණ 7ක් වාර්තා කර ගෙන තිබෙනවා.

සහභාගී අනෙක් තරගය වූ කෝට්ටේ ජනාධිපති විද්‍යාලය හමුවේ පළමු ඉනිමේ පරාජයකට ඔවුන්ට මුහුණ දීමට සිදු වූවා.

ඔවුන්ගේ මෙම සටන්කාමී ගමනේ වඩාත් සටන්කාමී සගයා වූයේ ධනුශ්ක මධුශංක යි. ඔහු මෙවර තරගාවලියේ දී ශතක ත්‍රිත්වයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 816ක් ලබා ගන්නවා.

ඔහුගේ මෙම ලකුණු අතර කෝට්ටේ ජනාධිපති විද්‍යාලයට එරෙහිව ලකුණු 133ක්, කෑගල්ල සාන්ත මරියා විද්‍යාලයට එරෙහිව ලකුණු 103ක් සහ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයට එරෙහිව 112ක් සහ හේනේගම මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ලබා ගත් ලකුණු 95ක් ද ඇතුලත්.

පන්දු යවන්නෙක් ලෙසින් ද දක්ෂතා දක්වන ධනුශ්ක මධුශංක ජාඇල ක්‍රිස්තු රාජ විද්‍යාලයට එරෙහි ව පළමු ඉනිමේ දී ලකුණු 31කට කඩුලු 5ක් සහ දෙවැනි ඉනිමේ දී ලකුණු 20කට කඩුලු 5ක් ලෙසින් තරගයේ දී ලකුණු 51කට ලබා ගත් කඩුලු 10ක් සමඟින් තරගාවලියේ දී කඩුලු 37ක් ලබා ගනිමින් දක්ෂතා දක්වනවා.

කණ්ඩායමේ නායකයා ලෙසින් කටයුතු කරන රවිශාන් ද සිල්වා ට තම ජාතික මෙහෙවර වෙනුවෙන් වැඩි කාලයක් යෙදවීමට සිදුවීම හේතුවෙන් මෙවර තරගාවලියේ දී පාසල වෙනුවෙන් සහභාගී වීමට සිදු වෙන්නේ තරග 5කට පමණයි. එම තරග 5 දී ඔහු මහනුවර කිංස්වුඩ් විද්‍යාලයට එරෙහිව පන්දු 129ක දී ලබා ගත් ලකුණු 200ක්, කෑගල්ල සාන්ත මරියා විද්‍යාලයට එරෙහිව පන්දු 98ක දී ලබා ගත් ලකුණු 119ක් සහ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයට එරෙහිව ලබා ගත් ලකුණු 51ක් සමඟින් ලකුණු 459ක් ලබා ගන්නවා.

පන්දු යවන්නෙක් ලෙසින් ඔහු සතු වන කඩුලු සංඛ්‍යාව 18ක්. ඒ අතුරින් හොඳම පන්දු යැවීම ලෙසට සටහන් වෙන්නේ කෑගල්ල සාන්ත මරියා විද්‍යාලයට එරෙහි ව ලකුණු 20කට ලබා ගත් කඩුලු 4යි.

ඔවුන්ට අමතර ව පී. ද එස්. කුලරත්නයන් සතු තවත් දක්ෂ පිතිකරුවෙක් වෙන්නේ දමික අකලංක යි. ඔහු හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයට එරෙහිව ලබා ගත් ලකුණු 103ත් සමඟින් එකී විශ්වාසය ඇති කර ගැනීමට සමත් වෙනවා.

පන්දු යැවීමේ දී ජනිඳු චාමිකට හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයක්. ඔහුගේ දක්ෂතා අතර හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ දී කඩුලු 6ක් සහ දෙවැනි ඉනිමේ දී කඩුලු 4ක් ලෙසින් තරගයේ දී කඩුලු 10ක් දවා ගැනීම සටහන් වෙනවා.

පී. ද එස්. කුලරත්න විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම:

රවිශාන් ද සිල්වා (නායක), මහීෂ ප්‍රභාශන (උප නායක), ධනුශ්ක මධුසංක, සසිඳු කෞශාන්, ශවිඳු ආකාශ්, මතීෂ දුලංජන, ජනිඳු චාමික, ශකිල හංසක, ඉනුක දුල්ජය, දමික අකලංක, නවිඳු යසින්ත, එනුක ඔනාදිත්, හේෂාන් ද සිල්වා, ගිශාන් ද සිල්වා, ලකිඳු තිහංස, යුගීත් රනුමික, කවීශ ගයාශාන්, භානු අනුත්තර.

ජගත් සේනාරත්න (විදුහල්පති), එස්. එච්. ලලිත් ගාමිණී (නියෝජ්‍ය විදුහල්පති/ ක්‍රිකට් සම්බන්ධීකාරක), ආර්. එම්. එස්. ද සොයිසා (ක්‍රිකට් භාර ආචාර්ය), ජී. අසෝක කුමාර (ප්‍රධාන පුහුණුකරු), ජී. නිලංක රවිශාන් (සහාය පුහුණුකරු)

දේවපතිරාජ විද්‍යාලය

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ Tier B තරගාවලිය නියෝජනය කරන දේවපතිරාජ විද්‍යාලය මෙවර තරගාවලියේ දී තරග 11කට ක්‍රීඩා කර ඇති අතර ඉන් ජයග්‍රහණය කිරීමට හැකි වෙන්නේ මහනුවර ධර්මාරාජ විද්‍යාලයට එරෙහිව පමණයි.

අනෙකුත් තරග 10 විසඳුමකින් තොරව අවසන් ව ඇති අතර නිමා වූ එම තරග අතුරින් වඩාත් දක්ෂතා දැක් වූ පිතිකරු බවට පත් ව ඇත්තේ දර්ශක සංදීප්. ඔහු මහනුවර ධර්මරාජ විද්‍යාලයට එරෙහිව ලබා ගන්නා ලද ලකුණු 122ත් සමඟින් තවත් අර්ධ ශතක 2ක් එක් කර ගනිමින් මෙවර තරගාවලියේ දී ලකුණු 463ක් ලබා සිටිනවා.

ඊට අමතර ව කණ්ඩායමේ වඩාත් සටන්කාමී පිතිකරුවන් වී සිටින්නේ යසිරු ලක්ෂාන් සහ ගිම්හාන් රසාංජනයි. ඔවුන් දෙදෙනා ම මෙවර තරගාවලියේ දී ලකුණු 457ක් බැගින් ලබා සිටිනවා.

ඔවුන් අතුරින් යසිරු ලක්ෂාන් ගේ ඉනිම් අතරට පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට එරෙහිව ලබා ගන්නා ලද ලකුණු 67 ද සහ ගිම්හාන් රසාංජනගේ ඉනිම් අතරට අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයට එරෙහිව ලබා ගන්නා ලද ලකුණු 67 ද ඔවුන් දැක් වූ ඉහළ ම ලකුණු අතර පවතිනවා.

මීට අමතර ව මහනුවර සිල්වෙස්තර විද්‍යාලයට එරෙහිව ලබා ගන්නා ලද ලකුණු 97ක් සමඟ තවත් අර්ධ ශතකයක් ද එක් කර ගනිමින් ලකුණු 400ක් ඉක්මවා සිටින අරෝෂ සිතුමිණ ද සහ ලකුණු 300ක් ඉක්මවා ලබා සිටින පුල්ජිත් වත්සුක ද රත්ගම දේවපතිරාජයන්ගේ පිතිකරු ලැයිස්තුව වර්ණවත් කළ ක්‍රීඩකයන් ලෙසින් හැඳින් වෙනවා.

පන්දු යැවීමේ දී වඩාත් විශ්වසනීය පන්දු යවන්නා බවට පත් ව සිටින්නේ සඳරු මල්ශාන්. ඔහු මෙවර තරගාවලියේ දී කඩුලු 42ක් ලබා ගන්නේ කඩුලු 5 අවස්ථා 2ක් ද සමඟිනුයි. ඒ අතර ඔහුගේ ඉනිමක හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වෙන්නේ වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලයට එරෙහිව ලකුණු 71කට දවා ගන්නා ලද කඩුලු 5යි.

දේවපතිරාජ විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම:

චමින්ද සඳරුවන් (නායක), පැතුම් ශමින්ද (උප නායක), මතීෂ සාරංග, දර්ශක සංදීප්, චමිඳු පද්මික, ගිම්හාන් රසාංජන, අරෝෂ සිතුමිණ, පුල්ජිත් වත්සුක, යසිරු ලක්ශාන්, හිරාන් චාමිකර, විහඟ ඉඳුසර, පින්සර දුතාංග, ඔශේන් කල්හාර, සඳරු මල්ශාන්, ප්‍රදීප් රංගන, දියත් සංජිත, නෙතූශ නිර්මාල්, හර්ෂ මදුෂංක.

සෑම් ද සිල්වා (විදුහල්පති) රංජිත් කුඹලාතර (ක්‍රිකට් භාර ආචාර්ය), ලීලාරත්න විමලකීර්ති (ක්‍රිකට් භාර ආචාර්ය), රංජන් ලසන්ත (ප්‍රධාන පුහුණුකරු).

රණ ශූර සටනට එක් වෙන අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලයීය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලයීය ක්‍රිකට් ක්‍රීඩකයන්ට ThePapare.com වෙතින් උණුසුම් සුබ පැතුම්!

තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<