නිපුන්, කවිජ සහ ට්‍රෙවින් ගේ උත්සාහයන් අපතේ යයි

West Indies Academy tour of Sri Lanka 2026

34
West Indies Academy tour of Sri Lanka 2026

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 2ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි ක්‍රීඩකයෝ සමත් වෙනවා.

කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී (23) නිමා වූ මෙම තරගය පෙර දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙමින් වර්ෂාව හේතුවෙන් පන්දුවක් හෝ නොයවා අතහැර දැමුණ තරගයයි. මෙම තරගය ද පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පන්දුවාර 36කට සීමා වූවා.

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම

 

නිපුන් ධනංජය (නායක), සිනෙත් ජයවර්ධන, විශේන් හැළඹගේ, අසිත වන්නිනායක, රනේෂ් සිල්වා (කඩුලු රකින්නා), කවිජ ගමගේ, දිනුර කළුපහන, ඉනුක කරන්නාගොඩ, ට්‍රෙවීන් මැතිව්, අක්මල් ෆස්ලි සහ කුගදාස් මාතුලන්.

බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම

 

Rivaldo Clarke (නායක), Mbeki Joseph, Johann Jeremiah, Damel Evelyn, Shaqkere Parris (කඩුලු රකින්නා), Kevlon Anderson, Giovonte Depeiza, Amari Goodridge, Jediah Blades, Raneico Smith සහ Zishan Motara.

කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ඉනිම අවසන් වීමට තවත් පන්දු 14ක් ඉතිරි ව තිබිය දී ලකුණු 184කට සියලුම දෙනා දැවී ගියා.

ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි සංචාරක ක්‍රීඩකයෝ තවත් පන්දු 30ක් ඉතිරි ව තිබිය දී කඩුලු 8ක් පමණක් දැවී ප්‍රතිවාදී ඉලක්කය පසු කරමින් තරගය ජයග්‍රහණය කරනවා.

එම ඉනිමේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 35කට දැවී ගිය ද සිව් වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 117ක දී ලකුණු 110ක සබඳතාවක් ගොඩ නැගීමට  Damel Evelyn සහ Kevlon Anderson සමත් වෙනවා.

එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ Kevlon Anderson ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යන විට පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණ 58ක් ලබා සිටියා.

Damel Evelyn තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී පන්දු 97කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 77ක් ලබා සිටි අතර ඊට අමතර ව නායක Rivaldo Clarke පන්දු 7ක දී හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 12ක් ලබා ගත්තා.

බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේ සාර්ථක වූ පිතිකරුවෝ එපමණක් වූ අතර පිටියට පිවිසි ක්‍රීඩකයෝ 7 දෙනෙක් ම තනි ඉලක්කමකට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වුණා.

එහි දී කවිජ ගමගේ ලකුණු 18කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරන අතර ඊට අමතර ව ට්‍රෙවීන් මැතිව් ලකුණු 30කට කඩුලු 3ක් ද සහ අක්මාල් ෆස්ලි කඩුල්ලක් ද දවා ගන්නවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක නිපුන් ධනංජය. ඔහු පන්දු 73කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 65ක් ලබා ගත්තා.

ඔහුගේ එම ඉනිම තුළ අසිත වන්නිනායක හා එක් ව 2 වැනි කඩුල්ලට ලකුණු 41ක සබඳතාවක් ද රනේෂ් සිල්වා හා එක් ව 4 වැනි කඩුල්ලට ලකුණු 55ක සබඳතාවක් ද එක් කරනවා.

එහි දී අසිත වන්නිනායක පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 23ක් ද සහ රනේෂ් සිල්වා පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 21ක් ද ලබා ගත්තා.

ඔවුන්ට අමතර ව ආරම්භක පිතිකරු සිනෙත් ජයවර්ධන පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 32ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Zishan Motara සහ Jediah Blades කඩුලු 3ක් බැගින් ද, Raneico Smith කඩුලු 2ක් ද සහ Rivaldo Clarke කඩුල්ලක් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම– සියලුම දෙනා දැවී 184 (33.4)සිනෙත් ජයවර්ධන 32, අසිත වන්නිනායක 23, නිපුන් ධනංජය 65, රනේෂ් සිල්වා 21, Jediah Blades 3/42, Raneico Smith 2/25, Zishan Motara 3/32
  • බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම– කඩුලු 8ක් දැවී 185 (31.0)Damel Evelyn නොදැවී 77, Kevlon Anderson 58, ට්‍රෙවීන් මැතිව් 3/30, කවිජ ගමගේ 4/18

බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායමට කඩුලු 2ක ජයක්.

දෙරට කණ්ඩායම් අතර පැවැත්වෙන 2 වැනි එක්දින තරගය පෙර සුපුරුදු ලෙසින් යොදා ගත් හෙට (24) කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායමේ මෙරට සංචාරයේ තවත් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<