ශ්‍රී ලංකා කාන්තාවන් දකුණු අප්‍රිකාවට එරෙහිව ඉතිහාසගත ජයක් ලබයි!

Sri Lanka Women's Tour of South Africa 2024

113
Sri lanka women's tour of south africa

ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තෙවන තරගයෙන් කඩුලු 4ක ජයක් ලබා ගනිමින් තරගාවලි ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද (04) උදෑසන සමත් වුනා. 

දකුණු අප්‍රිකාවේ East London ක්‍රීඩාංගණයේ දී ඊයේ (03) රාත්‍රියේ ආරම්භ වූ මෙම තරගයේ කාසියෙ වාසිය ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සතු වූ අතර, ඇයගේ තීරණය වුනේ පළමුව පන්දු යැවීමයි. 

මේ අනුව දකුණු අප්‍රිකාව පළමුව පිතිකරණයේ යෙදීමට පිටියට පිවිසි අතර ඔවුන්ගේ ආරම්භක පිතිකාරිණිය වූ නායිකා Laura Wolvaardt පන්දු 47ක් තුළ ලකුණු 56ක් ලබා ගනිමින් ඉනිමේ ඉහළම ලකුණු ලාභිනිය බවට පත් වුනා. 

මීට අමතරව Nadine de Klerkගේ පිත්තෙන් දැවැන්ත හයේ පහර තුනක් ද සමඟින් වේගවත් ලකුණු 44ක් වාර්තා වූ අතර, එම ඉනිම් දෙක හේතුවෙන් අප්‍රිකාව විසින් ශ්‍රී ලංකාව වෙත ලකුණු 156ක ඉලක්කයක් ලබා දීමට සමත් වුනා. 

කෙසේ වෙතත් අප්‍රිකානු ක්‍රීඩිකාවන්ට මීටත් වඩා ඉහළ ලකුණු ප්‍රමාණයකට යාමට පවා අවස්ථාවක් තිබූ අතර, ශ්‍රී ලංකා ක්‍රීඩිකා සුගන්දිකා කුමාරිගේ විශිෂ්ට පන්දු යැවීම (3/24) නිසා එය ව්‍යර්ථ වුනා. 

දකුණු අප්‍රිකාවෙන් ලද ඉලක්කය හඹා යාම සඳහා චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්න පිටියට පිවිසුණත්, මෙවර විශ්මිට නම් සාර්ථක වීමට ඉඩක් ලැබුණේ නැහැ. විශ්මි එක් ලකුණකට පිටියෙන් ඉවත් වූ අතර, ඉන් පසුව කඩුල්ලේ එක් වූ චමරි සහ හර්ශිතා සමරවික්‍රම ශ්‍රී ලංකාවට ජයග්‍රහණයේ මාවත විවර කර දීමට සමත් වුනා. 

ඔවුන් දෙදෙනා අතර ඉනිමේ දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 97ක සබඳතාවක් පැවැත්වුණු අතර, ඔවුන් ඒ සඳහා වැය කළේ පන්දු 69ක් පමණයි. එමෙන්ම මෙය ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස තරගයක දෙවන කඩුල්ල වෙනුවෙන් පැවැත්වුණු ඉහළම ලකුණු සබඳතාව ලෙස ද වාර්තා අතරට එක් වුනා. 

චමරි දෙවන කඩුල්ල ලෙස දැවී යාමත් සමඟ එම සබඳතාව නිමා වූ අතර, දැවී යන විට චමරි විසින් පන්දු 46ක් තුළ ලකුණු 73ක් වාර්තා කර ගැනීමට සමත් වී තිබුණා. එමෙන්ම ඒ වෙනුවෙන් ඇයගේ පිත්තෙන් හතරේ පහර 7ක් සහ හයේ පහර 5ක් එක් වීම විශේෂත්වයක්. 

කෙසේ වෙතත් චමරිගේ දැවී යාමෙන් අනතුරුව ශ්‍රී ලංකා ඉනිම බිඳ වැටීමේ අවදානමක් නිර්මාණය වුවත්, හර්ශිතා විසින් අනෙක් ශ්‍රී ලංකා පිතිකාරිණියන් සමඟ එක් වී තරගය ජයග්‍රහණය වෙත රැගෙන යාමට සමත් වුනා. 

මෙහි දී හර්ශිතා පන්දු 43කින් නොදැවුණු ලකුණු 54ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඒ සඳහා ඇයගේ පිත්තෙන් හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් එල්ල වුනා. 

ඒ අනුව ශ්‍රී ලංකාව අදාළ ඉලක්කය කඩුලු 6ක් පමණක් දැවී සපුරා ගැනීමට සමත් වූ අතර, තරගයේ වීරවරිය සම්මානය චමරි අතපත්තු හට හිමි වුනා. 

  • දකුණු අප්‍රිකාව – 155/6 (20) Laura Wolvaardt 56, Nadine de Klerk 44, සුගන්දිකා කුමාරි 3/24, ඉනෝශි ප්‍රනාන්දු 1/18 
  • ශ්‍රී ලංකාව – 156/6 (19.1) චමරි අතපත්තු 73, හර්ශිතා සමරවික්‍රම 54, Nadine de Klerk 2/25 

මෙම ජයග්‍රහණයත් සමඟින් ශ්‍රී ලංකාව තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, එය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් කුමන තරග රටාවකින් හෝ දකුණු අප්‍රිකාවට එරෙහිව ජයග්‍රහණය කළ පළමු ක්‍රිකට් තරගාවලිය ලෙස ද ඉතිහාසයට එක් වුනා. 

දෙරට අතර පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය අප්‍රේල් මස 09 වැනි දා ආරම්භ වීමට නියමිතයි. 

තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<