ශ්‍රී දේවානන්දය එක්දින කුසලානය රැක ගනී

Battle of the Blues

58

අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය සහ ධර්මාශෝක විද්‍යාලය අතර පැවැති 55 වැනි සුනිල සංග්‍රාමයට සමගාමීව පැවැති එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයෙන් කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය ක්‍රීඩකයෝ (02) සමත් වූවා.

අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ධර්මාශෝක විද්‍යාලය සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 131ක් පමණයි. ඊට පිළිතුරු ලෙසින් හඹා ගිය ඉනිමේ දී ශ්‍රී දේවානන්ද විද්‍යාලය තරගය අවසන් වීමට තවත් පන්දුවාර 14ක් ඉතිරිව තිබිය දී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඒ අනුව 2022 වසරේ සුනිල සංග්‍රාම එක්දින තරගයේ ජයග්‍රාහී ක්‍රීඩකයන් වූ ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය ක්‍රීඩකයෝ ම මෙම කුසලානය තව දුරටත් තමන් සන්තකයේ ම තබා ගැනීමට මෙම විසඳුමත් සමඟින් සමත් වූවා. පසුගිය 2023 වසරේ දී පැවැති සුනිල සංග්‍රාම එක්දින තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් එම තරගය නිමා වූයේ විසඳුමකින් තොරවයි.

Battle of the Blues, Limited Over, අම්බලන්ගොඩ, 02 අප්‍රේල් 2024

o කාසියේ වාසිය – ශ්‍රී දේවානන්ද විද්‍යාලය

o ක්‍රීඩාංගණය – මහජන ක්‍රීඩාංගණය, අම්බලන්ගොඩ.

ශ්‍රී දේවානන්ද විද්‍යාලය වෙනුවෙන් සුනිල සංග්‍රාමය හා එක් වූ සවීන් තියුනුවන් වෙනුවට මෙම තරගයේ දී තෙනුජ රශ්මින් කැඳවා තිබුණ අතර ධර්මාශෝක විද්‍යාලය මෙම තරගය හා එක් වූයේ වෙනස්කම් 3ක් සිදු කරමින්. ඒ වාර්ෂික මහා ක්‍රිකට් තරගය හා එක් වූ පසිඳු ජයකොඩි, විශ්ව දිමුතු සහ නෙතුජ බාසිත වෙනුවට චන්දූප කවිෂ, කවීෂ මතීෂ, දිනෙත් ගිම්හාන් කැදවමිනුයි.

ධර්මාශෝක විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: රන්දුල් සමරහේවා (නායක සහ කඩුලු රකින්නා), චන්දූප කවීෂ, ආකාශ් මෙන්ඩිස්, සෙනිත හැළඹගේ, චානුක ද සිල්වා, ජිතිර සංසික, සෙනුර සඳයුරු, කවීෂ මතීෂ, පැතුම් මලිත, ඉෂාන් අනුරාධ, දිනෙත් ගිම්හාන්

 

ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: වනිත් ද සිල්වා (නායක), මයුර මල්ෂාන්, දනිඳු ඉනෝෂ (කඩුලු රකින්නා), රවිඳු ද සිල්වා, චමෝද් චන්දූප, සිතුම් විහඟ, විහඟ මලිත්, සඳලු රශ්මික, මිනිඳු ඔෂද, තෙනුජ රශ්මික, කවීෂ හංසක.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ධර්මාශෝක විද්‍යාලයීය ඉනිම ලකුණු 131කට සීමා කිරීමට වනිත් ද සිල්වා ප්‍රමුඛ ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය පන්දු යැවීමේ බලඇණිය සමත් වූවා.

ඔවුන්ට තරග වැදීමට තවත් පන්දු 44ක් ඉතිරි ව තිබිය දී අවසන් වූ ඉනිමේ වඩාත් බලගතු වූ පන්දු යවන්නා බවට පත් වූයේ නායක වනිත් ද සිල්වා යි. ඔහු ධර්මාශෝක ඉනිම සුනුවිසුණු කරන්නේ ලකුණු 12කට කඩුලු 5ක් දවා ගනිමිනුයි.

ඔහුට අමතර ව සඳලු රශ්මික ද ලකුණු 29කට කඩුලු 2ක් දවා ගත් අතර කවීෂ හංසක සහ තෙනුජ රශ්මික ද කඩුල්ල බැගින් දවා ගත්තා.

ධර්මාශෝක විද්‍යාලයීය ඉනිමේ වැඩිම ලකුණුලාභිය වූයේ මෙම තරගය වෙනුවෙන් කැදවූ ආරම්භක පිතිකරු චන්දූප කවීෂ යි. ඔහු පන්දු 117කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 46ක් ලබා ගත්තා.

ඊට අමතර ව ආකාශ් මෙන්ඩිස් පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 35ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා 2 වැනි කඩුල්ලට ලකුණු 75ක සබඳතාවක් එක් කිරීමට සමත් වූවා.

ධර්මාශෝක විද්‍යාලයීය ඉනිමේ අනෙක් පිතිකරුවන් අතුරින් ජිතිර සංසික පන්දු 21ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 11ක් ලබා ගත් අතර අනෙකුත් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවක් එකතු කිරීමට ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය පන්දු යවන්නෝ ඉඩ ලබා දුන්නේ නැහැ.

ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය හඹා යන ඉනිම ආරම්භ කළ මයුර මල්ෂාන් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූවා. ඔහු පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 38ක් ලබා ගත්තා.

මැදි පෙළින් පිටියට පිවිසි සිතුම් විහඟ පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 26ක් ලබා ගත් අතර මිනිඳු ඔෂද පන්දු 10කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ ජයග්‍රහණය සඳහා එල්ල කරන ලද හයේ පහරක් ද සහිතව නොදැවී ලකුණු 14ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී ඉෂාන් අනුරාධ ලකුණු 21කට කඩුලු 2ක් දවා ගත් අතර දිනෙත් ගිම්හාන, සෙනිත හැළඹගේ, ජිතිර සංසික සහ පැතුම් මලිත් කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ධර්මාශෝක විද්‍යාලය – සියලුම දෙනා දැවී 131 (42.4) චන්දූප කවීෂ 46, ආකාශ් මෙන්ඩිස් 35, සඳලු රශ්මික 2/29, වනිත් ද සිල්වා 5/12

ශ්‍රී දේවානන්ද විද්‍යාලය – කඩුලු 6ක් දැවී 137 (35.2) මයුර මල්ෂාන් 38, සිතුම් විහඟ නොදැවී 26, ඉෂාන් අනුරාධ 2/21

ශ්‍රී දේවානන්ද විද්‍යාලයට කඩුලු 4ක ජයක්.

  • තරගයේ හොඳම පන්දු රකින්නා – චමෝද් චන්දූප (ශ්‍රී දේවානන්ද විද්‍යාලය)
  • තරගයේ හොඳම පන්දු යවන්නා – වනිත් ද සිල්වා (ශ්‍රී දේවානන්ද විද්‍යාලය)
  • තරගයේ හොඳම පිතිකරු – චන්දූප කවීෂ (ධර්මාශෝක විද්‍යාලය)
  • තරගයේ වීරයා – සිතුම් විහඟ (ශ්‍රී දේවානන්ද විද්‍යාලය)

තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<