බලපිටි විරු සටන මෙවරත් මහ ඉහළින්

213
35th Battle of the Hero

බලපිටිය රේවත විද්‍යාලය සහ සිද්ධාර්ථ විද්‍යාලය අතර 35 වැනි වරටත් පැවැත්වෙන “බලපිටි විරු සටන” වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 05 සහ 06 දෙදින බලපිටිය ගුරු අභ්‍යාස විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී පැවැත්වේ.

මෙතෙක් පැවැති විරු සටන් ඉතිහාසයේ දී රේවත විද්‍යාලය අවස්ථා 11ක දී ජයග්‍රහණ වාර්තා කරගෙන ඇති අතර සිද්ධාර්ථ විද්‍යාලයට මෙතෙක් එකඳු හෝ ජයග්‍රහණයක් හිමි වී නැහැ. නිමා වූ 2023 වසරේ දී ද විරු සටන් කුසලානයේ හිමිකාරීත්වය රේවත විද්‍යාලය සතු කරගත් අතර එහි නායකත්වයේ කටයුතු කළේ කමේෂ් චතුරංග යි.

විරු සටන් ඉතිහාසයේ නොමැකෙන සටහන් තැබූ ක්‍රීඩකයන් ලෙසින් ඉදිරියෙන් ම සටහන් වෙන්නේ තිලාන් තුෂාර සහ සීක්කුගේ ප්‍රසන්න යි. වමතින් මද වේග පන්දු යැවූ තිලාන් තුෂාර බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිස 2003 වසරේ සිට 2010 වසර දක්වා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර පිටියේ දක්ෂතා දැක් වූවා.

බලපිටිය රේවත විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට අවතීර්ණ වූ තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක් වූ සීක්කුගේ ප්‍රසන්න 2011 වසරේ සිට 2019 වසර දක්වා ජාතික ක්‍රිකට් කණ්ඩායම හා එක්වෙමින් ජාත්‍යන්තර පිටියේ දක්ෂතා දැක් වූවා.

ඔවුන් දෙදෙනාට අමතර ව බලපිටි විරු සටන් ඉතිහාසය වර්ණවත් කළ තවත් ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් ම මෙරට පළමු පෙළ පිටියේ මෙන් ම විදෙස් රටවල ද දක්ෂතා දක්වන්නන් අතර සිටීම විශේෂත්වයක්.

මෙවර තරගයේ දී රේවත විද්‍යාලයීය කණ්ඩායම දිනුර නෙත්මිණ විසින් මෙහෙයවනු ලබන අතර පූර්ණ රන්යුරු ඔහුගේ සහායකයා ලෙසින් කටයුතු කරයි. සිද්ධාර්ථ විද්‍යාලය මෙහෙයවීමේ වගකීම පැවැරී ඇත්තේ කවීෂ් චමල්කටයි. ඔහුගේ සහායකයා ලෙසින් ගයාන් සඳරුවන් කටයුතු කරනවා.

තරගයේ සත්කාරකත්වය මෙවර හිමි ව ඇත්තේ රේවත විද්‍යාලයටයි.

රේවත විද්‍යාලය

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ තරගාවලිය නියෝජනය කරන රේවත විද්‍යාලය මේ තරග වසරේ දී තරග 10කට සහභාගී වෙමින් ලත් අත්දැකීම් සමඟින් මෙම තරගය හා එක් වෙනවා.

එම නිමා වූ තරගවල දී තරග 3ක පූර්ණ ජයග්‍රහණ හිමිකර ගන්නා ඔවුන් තවත් තරග 3ක දී පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කරනවා. සෙසු තරග 4 නිමා වී ඇත්තේ විසඳුමකින් තොරවයි.

එම තරග නිමාවේ දී රේවත විද්‍යාලය වෙනුවෙන් වැඩිම මෙහෙවරක් කළ පිතිකරු බවට පත් වීමේ ගෞරවය ලබා ගන්නේ පළමු වසරට කණ්ඩායම හා එක් ව සිටින සදීශ නිර්මාල්. ඔහු නිමා වූ තරගවාරයේ දී ලකුණු 450කට ආසන්න ව ලබා ගෙන තිබෙනවා.

ඊට අමතර ව රේවත විද්‍යාලය වෙනුවෙන් තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක් වූ ක්‍රීඩකයන් අතුරින් ඉදිරියෙන් සිටින්නේ සෙතික නුවන්සිත්. ඔහු මෙවර තරගාවලියේ දී හලාවත සාන්ත මේරීස් විද්‍යාලයට ලබා ගත් ශතකයත් සමඟින් ඔහු ලකුණු 300ක් ද සහ පන්දු යවන්නෙක් ලෙසින් කඩුලු 20ක් ද ලබා සිටිනවා.

කණ්ඩායමේ දක්ෂතා අගය කිරීමේ දී කණ්ඩායමේ නායක දිනුර නෙත්මිණට ද හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයක්. ඔහු මෙවර පාසල් තරගවාරයේ දී පිතිකරුවෙක් ලෙසින් මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව ලබා ගත් ශතකයත් සමඟින් ලකුණු 325ක් ලබා සිටින අතර පන්දු යැවීමේ දී කඩුලු 18ක් ද ලබා තිබෙනවා.

කණ්ඩායමේ උප නායක පූර්ණ රන්යුරු ද තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වනු ලබන අතර ඔහු මේ දක්වා ලකුණු 250ක් සහ කඩුලු 15ක් දවා ගනිමින් තම කණ්ඩායම හා රැදී සිටිනවා.

ඊට අමතර ව ගිම්හාන් මෙන්ඩිස් ලකුණු 250 සීමාවේ සිටිමින් කඩුලු 20ක් ලබා ගනිමින් ද, ගොවිඳු නිසංසල ලකුණු 250ක් ද,  අමීෂ ඉහලගේ ලකුණු 200ක් ද ලෙසින් ලබා ගනිමින් පිතිකරු බලඇණිය ශක්තිමත් කිරීමට සූදානම් ව සිටිනවා.

කණ්ඩායමේ හොඳම පන්දු යවන්නා ලෙසින් අවිවාදයෙන් පිළිගැනෙන්නේ සුදේෂ් මල්සර යි. ඔහු මෙවර තරග වාරයේ දී කඩුලු 48ක් ලබා ගනිමින් එම විශ්වාසය දිනා තිබෙනවා. ඊට අමතර ව පළමු වසරට එක් ව සිටින කවීෂ සම්පත් ද කඩුලු 35ක් ලබා ගනිමින් ද ඒ හා සමානව ම විශ්වසනීය පන්දු යවන්නෙක් බවට පත් ව සිටිනවා.

Battle of the Hero ,

රේවත විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම:

දිනුර නෙත්මිණ (නායක), පූර්ණ රන්යුරු (උප නායක), සෙනික නුහන්සිත්, අමීෂ ඉහළගේ, ගොවිඳු නිසංසල, කවීෂ සම්පත්, ගිම්හාන් මෙන්ඩිස්, සුදේශ් මල්සර, යොහාන් සෙනුර, සදීශ නිර්මාල්, ලවිඳු සත්සර, කලණ චමෝද්, කවීෂ සන්දීප, අකිල නවීන්, වාසල මෙන්ඩිස්, තරුන් නිම්සර.

සමන්ත මෙන්ඩිස් (විදුහල්පති), සනත් සේනාරත්න (සහකාර විදුහල්පති), ප්‍රියන්ත ද සිල්වා (නියෝජ්‍ය විදුහල්පති) සුරාජ් සංජීව (ක්‍රිකට් භාර ආචාර්ය), ජනිත් චතුරංග (ප්‍රධාන පුහුණුකරු).

සිද්ධාර්ථ විද්‍යාලය

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ ක්‍රිකට් තරගාලිය හා එක් ව සිටින සිද්ධාර්ථ විද්‍යාලය මෙවර තරගාවලියේ දී තරග 11කට සහභාගී වී තිබෙනවා.

ඒ අතුරින් තරග 5ක පූර්ණ ජයග්‍රහණ ලබා ගන්නා ඔවුන් තරග 3ක පළමු ඉනිමේ ජයග්‍රහණ ද ලබා ගන්නවා. අනෙකුත් තරගවල දී ඔවුන්ට ප්‍රතිවාදීන් හමුවේ පළමු ඉනිමේ පරාජයන්ට මුහුණ දීමට සිදු වෙනවා.

නිමා තරගාවලියේ දි සිද්ධාර්ථ ක්‍රීඩකයන් අතුරින් වඩාත් දක්ෂතා දැක් වූ පිතිකරු බවට පත් ව සිටින්නේ ජයත් මෙන්ඩිස්. ඔහු ශතක 2ක් සහ අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 745ක් ලබා සිටිනවා.

එහි දෙවැනි ස්ථානය අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 457ක් ලබා සිටින නදීජ නෙත් නිම්සර ට හිමි ව ඇති අතර ඊට අමතර ව වතික සුපේෂල අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 358ක් ද, සත්රු කවීජ් අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 346ක් ද සහ ඩිල්ශාන් මිහිරංග අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 326ක් ද ලබා ගනිමින් සිද්ධාර්ථ විද්‍යාලයීය පිතිකරු බල ඇණියේ ප්‍රමුඛ විරුවන් බවට පත් ව සිටිනවා.

පන්දු යැවීමේ දී වඩාත් විශ්වාසවන්තයා වී සිටින්නේ නායක කවීෂ් චමල්ක යි. ඔහු මෙවර නිමා වූ පාසල් ක්‍රිකට් තරගවාරයේ දී කඩුලු 58ක් ලබා ගනිමින් එකී විශ්වාසයට එක් ව සිටිනවා.

කණ්ඩායමේ උප නායක ගයාන් සඳරුවන් ද කඩුලු 47ක් ලබා ගනිමින් එවැනි ම විශ්වාසයකින් කණ්ඩායම හා එක් ව සිටිනවා. ඊට අමතර ව නිරෝෂ් නිම්සර කඩුලු 31ක් ද සහ ජැක් ශාක්‍ය කඩුලු 28ක් ද ලබා ගනිමින් සිද්ධාර්ථ විද්‍යාලයීය පන්දු යවන්නන්ගේ බලඇණියේ ප්‍රමුඛ පන්දු යවන්නන් බවට පත් ව සිටිනවා.

Big Match 2024

සිද්ධාර්ථ විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම:

කවීෂ් චමල්ක (නායක), ගයාන් සඳරුවන් (උප නායක), විසල් ගිම්හාන්, තරිඳු සෙව්මිණ, ජයත් මෙන්ඩිස්, ජැක් ශාක්‍ය, හර්ෂණ හේෂාන්, සත්රු කවිජ්, නිරෝෂ් නිම්සර, දිල්ශාන් මිහිරංග, රුසිරු ධනංජය, වතික සුපේෂල, නදීජ නෙත් නිම්සර, ප්‍රබෝධ ස්වරණ, වගීෂ හේෂාන්, ලක්ෂාන් මිහිරංග.

මහේෂා ත්‍රාබේව් (විදුහල්පතිනි), වසන්ත කුමාර (නියෝජ්‍ය විදුහල්පති), චානුක ධර්මසිරි (ක්‍රිකට් භාර ආචාර්ය), අනූෂ සුගත් (නියෝජ්‍ය විදුහල්පති), වජිරා ප්‍රහර්ෂනී (නියෝජ්‍ය විදුහල්පතිනි), දර්ශන පුෂ්පකුමාර (ප්‍රධාන පුහුණුකරු).

බලපිටි විරු සටනට එක් ව සිටින රේවත විද්‍යාලයීය කණ්ඩායමට සහ සිද්ධාර්ථ විද්‍යාලයීය කණඩායමට ThePapare.com වෙතින් උණුසුම් සුබ පැතුම්!

තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<