දේවපතිරාජ සහ කුලරත්නයන්ගේ ශූරයන්ගේ සටන

2nd Battle of the Warriors

265
2nd Battle of the Warriors Preview

රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලය අතර දෙවැනි වරට පැවැත්වෙන “ශූරයන්ගේ සටන” වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 12 සහ 13 දෙදින අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගයේ මෙවර සත්කාරකත්වය දරන්නේ දේවපතිරාජ විද්‍යාලය වන අතර දෙවිදුහල් අතර පැවති මංගල වාර්ෂික මහා ක්‍රිකට් තරගය විසඳුමකින් තොරව අවසන් වීම හේතුවෙන් මෙම තරගයේ දී දෙපිලේ ම ක්‍රීඩකයෝ ජයග්‍රහණයක් බලාපොරොත්තුවෙන් පිටියට පිවිසෙනු ඇත.

දේවපතිරාජ විද්‍යාලය

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ Tier B කාණ්ඩයේ Z කොටසෙන් තරගාවලියට පිවිසි කණ්ඩායමක් ලෙසයි දේවපතිරාජ විද්‍යාලය මෙම තරගය හා එක් වෙන්නේ.

ඔවුන් නිමා වූ අන්තර් පාසල් තරගාවලියේ දී තරග 11කට මුහුණ දුන්න ද ඉන් එකඳු හෝ තරග ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වෙන්නේ නැහැ. එසේ වූවත් ඔවුන් පළමු ඉනිමේ ජයග්‍රහණ 7ක් ලබා ගැනීමට සමත් වෙනවා. ඔවුන්ගේ ඉතිරි තරග නිමා වෙන්නේ එක් පරාජිත තරගයක් සහ පළමු ඉනිමේ පරාජය වූ තරග 3ක් ලෙසිනුයි.

මේ තරග අතරින් කණ්ඩායමට වඩාත් සේවය කළ ක්‍රීඩකයා ලෙසින් දැක්වෙන්නේ දකුණත් පිතිකරු පවන් සංදේශ්. ඔහු තරග 8ක ඉනිම් 12කට සහභාගී වෙමින් ශතක 2ක් සහ අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 702ක් ලබා ගන්නවා.

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයට එරෙහිව ලකුණු 161ක් සහ කොළඹ මහානාම විද්‍යාලයට එරෙහිව ලකුණු 134ක් ලෙසින් ඔහුගේ ශතක 2 වෙන් වෙනවා. ඔහු දකුණතින් වේගපන්දු යවන්නෙක් ලෙසින් ද කණ්ඩායමට සේවය සලසනවා.

නායක ජීවක ශෂීන්ට ද කණ්ඩායමේ පිතිකරුවන් අතරින් හිමි වෙන්නේ ඉහළ පිළිගැනීමක්. වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම ද නියෝජනය කළ ඔහු නිමා වූ තරගාවලියේ දී තරග 9ක ඉනිම් 13ක දී ශතකයක් සමඟින් ලකුණු 670ක් ලබා ගන්නවා. ඔහුගේ හොඳම ඉනිම බවට පත් වෙන්නේ කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයට එරෙහිව ලබා ගත් ලකුණු 112යි.

ඉන් අනතුරුව පිතිකරුවන් අතරින් වඩාත් විශ්වාසය තබා ඇත්තේ සඳරු තීක්ෂණ සහ දර්ශක සංදීප වෙතයි. සඳරු තීක්ෂණ මාතර සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව ලබා ගත් ලකුණු 97ක් සහ තවත් අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 405ක් ලබා සිටිනවා.

එමෙන් ම දර්ශක සංදීප මෙම ලැයිස්තුවට එක් වෙන්නේ කණ්ඩායමේ තවත් ශතක ලාභියෙක් ලෙසයි. ඔහු අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට එරෙහිව ලබා ගත් ලකුණු 128ත් සමඟින් තරග 11ක ඉනිම් 16ක දී ලකුණු 403ක් ලබා ගන්නවා.

කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයන් අතරින් වමත් පිතිකරු අරෝෂ සිතුමිණගේ නම ඉදිරියෙන් කියැවෙනවා. ඔහු නිමා වූ තරගාවලියේ දී තරග 10ක ඉනිම් 15ක දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 362ක් ලබා ගන්නවා. ඔහුගේ හොඳම ඉනිම බවට පත්වෙන්නේ කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලයට එරෙහිව ලබා ගත් ලකුණු 78යි.

එමෙන් ම ඔහු  දකුණතින් පිට දඟපන්දු යවමින් අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයට එරෙහිව එක් ඉනිමක දී ලකුණු 98කට කඩුලු 7ක් දවා ගනිමින් පන්දු යැවීමේ දී සුවිශේෂී මතකයක් එක් කර ගන්නවා.

පන්දු යවන්නන් අතරින් වඩාත් දක්ෂතා දක්වන්නා ලෙසින් විශ්වාස දිනා ඇත්තේ වමතින් දඟපන්දු යවන ඉරුෂ්ක තිමිර. ඔහු මෙවර තරගාවලියේ දී තරග 10ක දී කඩුලු 75ක් ඉක්මවා ලබා සිටිනවා. ඒ අතර කඩුලු 5කට වැඩියෙන් ලබා ගත් අවස්ථා 7ක් වාර්තා කිරීමට ද ඔහු සමත් වෙනවා. මෙවර තරගාවලියේ දී ඔහුගේ ඉනිමක හොඳම පන්දු යැවීම බවට පත් වෙන්නේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට එරෙහිව ලකුණු 48කට ලබා ගත් කඩුලු 8යි. තරගයක දී ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත් වූයේ මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලයට එරෙහිව ලකුණු 124කට ලබා ගත් කඩුලු 10යි.

කණ්ඩායමේ පන්දු යවන්නන් අතරින් පුල්ජිත් වත්සුක තරග 10ක දී කඩුලු 28ක් ලබා ගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා. ඔහුගේ හොඳම පන්දු යැවීම බවට වාර්තා වන්නේ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයට එරෙහිව ලකුණු 43කට දවා ගත් කඩුලු 5යි.

ඊට අමතරව පැතුම් ශමින්ද සහ සඳරු මල්ෂාන් දේවපතිරාජ කණ්ඩායමේ පන්දු යැවීමේ බලඇණිය ශක්තිමත් කරන්නට සූදානමින් සිටින්නෝ ලෙසින් හැඳින්විය හැකි. පැතුම් සමින්ද කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලයට එරෙහිව ලකුණු 46කට කඩුලු 5ක් දවා ගනිමින් දැක්වූ දක්ෂතා සේ ම සඳරු මල්ෂාන් පොලොන්නරුව රාජකීය විද්‍යාලයට එරෙහිව ලකුණු 63කට කඩුලු 6ක් දවා ගනිමින් පෑ දක්ෂතා ද සමඟින් ඔවුන් මේ විශ්වාසය දිනා තිබේ.

  • දේවපතිරාජ විද්‍යාලයීය කණ්ඩායම: ජීවක ශෂීන් (නායක), ඉරුෂ්ක තිමිර (උප නායක), පවන් සංදේශ්, තරිඳු රුක්ෂාන් (කඩුලු රකින්නා), සඳරු තීක්ෂණ, චමින්ද සඳරුවන්, පැතුම් ශමින්ද, දර්ශක සංදීප, අරෝෂ සිතුමිණ, ගිම්හාන් රසාන්ජන, පුල්ජිත් වත්සුක, යසිරු ලක්ෂාන්, හිරාන් චාමිකර, දසුන් ඩිල්ශාන්, පිංසර දුතාංග, මතීෂ සාරංග, කවීශ මධුසංක, තනුෂ් විදුරංග, ඔෂේන් කල්හාර, සඳරු මල්ශාන්.
  • නිලධාරීන්: ඒ. ජේ. කේ. එස්. සිල්වා (විදුහල්පති), රංජිත් කුඹලාතර (ක්‍රිකට් භාර ආචාර්ය), රංජන් ලසන්ත (පුහුණුකරු)

පී. ද එස්. කුලරත්න විද්‍යාලය

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ දෙවැනි කොටසේ Tier B කණ්ඩායම් අතර Y කාණ්ඩයෙන් තරග වැදුණ පී. ද එස්. කුලරත්න විද්‍යාලය මෙම තරගය හා එක් වෙන්නේ නිමා වූ දෙවැනි කොටසේ එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ ශූරයන් වූ අභිමානයත් සමඟින්.

ඔවුන් නිමා වූ එක්දින තරගාවලියේ අවසන් මහා තරගයේ දී හොරණ තක්ෂිලා විද්‍යාලයට එරෙහිව ලකුණු 35ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වෙනවා.

සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් වැඩි වෙහෙසක් දැරූ ඔවුන් දෙදින තරගාවලියේ දී සහභාගී වන්නේ තරග කිහිපයක් වීම කැපී පෙනුණා.

කෙසේ වෙතත් එම තරගවල දී වඩාත් දක්ෂතා දැක්වූ පී. ද එස්. කුලරත්න තරුව වූයේ වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම ද නියෝජනය කළ උපනායක රවිශාන් නෙත්සර.

ඔහු තරග 6ක දී ශතක 2ක් සහ අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 554ක් ලබා ගන්නවා. ඔහුගේ ඉනිම් අතර ඉහළ ම ඉනිම බවට පත් වෙන්නේ කෑගලු විද්‍යාලයට එරෙහිව ලබා ගත් ලකුණු 145යි. ඊට අමතර ව මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයට එරෙහිව ද ඔහු නොදැවී ලකුණු 105ක් ලබා ගන්නවා.

කෑගලු විද්‍යාලයට එරෙහිව දෙවැනි ඉනිමේ දී ද අර්ධ ශතකයක් වාර්තා කරන රවිශාන් නෙත්සර කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ලකුණු 86ක් ලබා ගනිමින් දක්ෂතා දක්වනවා.

කුලරත්න විද්‍යාලය වෙනුවෙන් තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වූවන් අතරින් කැපී පෙනෙන්නේ දනුෂ්ක මධුශංක. ඔහු තරග 8ක දී අර්ධ ශතක 5ක් සමඟින් ලකුණු 437ක් ලබා ගන්නා ලද අතර පන්දු යැවීමේ දී කඩුලු 10ක් ලබා ගන්නවා.

පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට, කෑගලු විද්‍යාලයට, කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලයට, පානදුර රාජකීය විද්‍යාලයට සහ කළුතර තිස්ස විද්‍යාලයට එරෙහිව අර්ධ ශතක වාර්තා කරන ඔහුගේ හොඳම ඉනිම බවට පත් වෙන්නේ කළුතර තිස්ස විද්‍යාලයට එරෙහිව ලබා ගත් ලකුණු 76යි

පන්දු යැවීමේ දී ඔහුගේ ඉහළ ම දක්ෂතාව කෑගලු විද්‍යාලයට එරෙහිව ලකුණු 38කට ලබා ගත් කඩුලු 4යි.

ඊට අමතර ව තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන්නන් අතරින් නායක හිරුෂ දෙව්මිකට ද හිමි වෙන්නේ වැදගත් පිළිගැනීමක්. ඔහු පිතිකරුවෙක් ලෙසින් තරග 6ක දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 295ක් ලබා ගන්නවා. ඒ අතර ඔහුගේ හොඳම ඉනිම බවට පත් වෙන්නේ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ලබා ගත් ලකුණු 95යි.

දකුණතින් වේග පන්දු යවමින් ද දක්ෂතා දක්වන හිරුෂ දෙව්මික කඩුලු 16ක් ලබා ගන්නවා. ඒ අතර පානදුර රාජකීය විද්‍යාලයට එරෙහිව ලකුණු 45කට දවා ගත් කඩුලු 5 ඉහළ ම දක්ෂතාව ලෙසින් සටහන් වෙනවා.

ඊට අමතර ව තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන්නන් අතර මොවිඳු ලක්ෂාන් ද පිතිකරුවන් අතරින් අර්ධ ශතක ඉනිම් 3ක් වාර්තා කළ මහීෂ ප්‍රභාෂණ සහ ශවිඳු ආකාශ් ද තම කණ්ඩායම වෙනුවෙන් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් ලෙසින් වර්ගීකරණයට ලක් වෙනවා.

පී. ද එස්. කුලරත්න විද්‍යාලය වෙනුවෙන් වඩාත් දක්ෂතා දැක්වූ පන්දු යවන්නා බවට පත් වෙන්නේ දකුණතින් පා දඟපන්දු යවන ශකිල හංසක. ඔහු මෙවර තරගාවලියේ දී තරග 8ක දී කඩුලු 46ක් ලබා ගැනීමට සමත් වෙනවා.

හේනේගම මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව එක් ඉනිමක දී ලකුණු 43කට කඩුලු 8ක් සමඟින් තරගයේ දී ලකුණු 115කට කඩුලු 11ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූ ඔහු එය ඔහුගේ මෙවර තරගාවලියේ ඉහළ ම දක්ෂතාව බවට ද පත්කර ගන්නවා. ඊට අමතරව පානදුර සාන්ත ජෝන්ස් විද්‍යාලයට, කෑගලු විද්‍යාලයට සහ කළුතර විද්‍යාලයට එරෙහිව කඩුලු 5 බැගින් දවා ගනිමින් ද දක්ෂතා දැක්වීමට ඔහු සමත් වෙනවා.

මීට අමතර ව අකිල චතුරංග, ලශේන් වනිඳු සහ සසිඳු කෞෂාන් ද පි. ද එස්. කුලරත්න විද්‍යාලයට වෙනුවෙන් දක්ෂතා දැක් වූ ක්‍රීඩකයන් ලෙසින් දැක් විය හැකියි.

  • පී. ද එස්. කුලරත්න විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම: හිරුෂ දෙව්මික (නායක), රවිශාන් ද සිල්වා (උපනායක), ලශේන් වනිඳු, ශවිඳු ආකාශ්, සසිඳු කෞෂාන්, ධනුශ්ක මධුසංක, මහීෂ ප්‍රභාෂණ, අසින්ත රශ්මික, ශකිල හංසක, අකිල චතුරංග, මොවිඳු විනෝද්, ජනිඳු චාමික, මතීෂ දුලාංජන, උදාර සඳරුවන්, නවිඳු යසින්ත, ඉනුක දුල්ජය, ලකිඳු තිහඟ, අදීශ ඉන්දීවර.
  • නිලධාරීන්: ජගත් සේනාරත්න (විදුහල්පති), ගාමිණි ද සිල්වා (සම්බන්ධීකාරක), ආර්. එම්. එස්. සොයිසා (ක්‍රිකට් භාර ආචාර්ය), ජයන්ත ජයවීර (ප්‍රධාන පුහුණුකරු), ලහිරු ශනික (සහාය පුහුණුකරු), ලකිල ටෙහාන් (සහාය පුහුණුකරු)

දෙවිදුහල් අතර පැවැත්වෙන සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය මේ මස 16 වැනිදා අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වෙන අතර නිමා වූ මංගල එක්දින සීමිත පන්දුවාර තරගයේ ජයග්‍රහණය සත්කාරක පි. ද එස්. කුලරත්න විද්‍යාලය සතු වුනා.

ශූරයන්ගේ සටනට එක් වෙන රත්ගම දේවපතිරාජ විද්‍යාලයට සහ අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලයට ThePapare.com වෙතින් උණුසුම් සුබ පැතුම්!

තරගයේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<