තියුණු තරගයකින් පසු ජයග්‍රහණය අශෝක විද්‍යාලයට

Rathran Satana 15th One Day Encounter

365
Asoka College vs Presidents’ College

කොළඹ අශෝක විද්‍යාලය සහ කෝට්ටේ ජනාධිපති විද්‍යාලය අතර 15 වැනි වරට පැවැත්වුණු රන් සටනින් ලකුණු 2ක තියුණු ජයක් ලබා ගැනීමට අශෝක විද්‍යාලය අද (30) සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගත ජනාධිපති විද්‍යාලයේ නායක කල්ප හෙට්ටිආරච්චි විසින් පළමුව පන්දුවට පහර දීමට ලබා දුන් අභියෝගය පිළිගත් අශෝක විද්‍යාලය පන්දුවාර 44යි පන්දු 1ක දී සියල්ලන් ම දැවී ලකුණු 236ක් ලබා ගැනීමට සමත් වුනා.

මෙහි දී අශෝක විද්‍යාලයේ ඉනිම ආරම්භය එතරම් ම සාර්ථක නොවූ නමුත් මැදපෙළ පිතිකරු උමේශ් කල්දේරා විසින් දියත් කළ වේගවත් ඉනිම සහ උදයන්ත අභිලාෂ, දුලාජ් හෙට්ටිආරච්චි යන පිතිකරුවන් විසින් ඔහුට ලබා දුන් සහයෝගය නිසා අශෝක විද්‍යාලයට ලකුණු 200 සීමාව ඉක්මවා යාමට හැකියාව ලැබුණා.

මෙහි දී උමේශ් විසින් පන්දු 71ක් පමණක් වැය කරමින් ලකුණු 86ක් ලබා ගැනීමට සමත් වුනේ හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සිය ඉනිමට එකතු කර ගනිමිනුයි.

නමුත් උමේශ්ගේ දැවී යාමෙන් පසුව නැවතත් අශෝක ඉනිම කෙමෙන් බිඳ වැටීම ආරම්භ වූ අතර, අශෝක ඉනිම බිඳ දැමීමේ දී ජනාධිපති විද්‍යාලයීය නායක කල්ප හෙට්ටිආරච්චි සහ සසිඳු අවිශ්ක මූලිකත්වය ගෙන කටයුතු කළා.

ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 237ක ඉලක්කයක් ජනාධිපති විද්‍යාලයට හිමි වූ අතර, ඔවුන් විසින් එම අභියෝගය ඉතා සාර්ථකව භාර ගත් බවක් ඉනිම ආරම්භයේ පෙනෙන්නට තිබුණා.

ජනාධිපති විද්‍යාලයේ ආරම්භක පිතිකරු මෙන් ම නායකයා ද වූ කල්ප හෙට්ටිආරච්චි ඉනිමේ තෙවන කඩුල්ල ලෙස ලකුණු 50ක් ලබා සිටිය දී දැවී යන විට ඉනිමේ පන්දුවාර 24ක් අවසන් වී තිබූ අතර ලකුණු 94ක් ජනාධිපති විද්‍යාලයේ ඉනිමට එක් වී තිබුණා.

කල්පගේ දැවී යාමෙන් පසුව පිටියට පිවිසුණු නිශ්ශංක විසින් සිය කණ්ඩායම ජයග්‍රහණය වෙත ගෙන යාමට උත්සාහ කළ නමුත් ඔහුගේ ඉනිම ලකුණු 35කට සීමා කිරීමට උමේශ් කල්දේරා විසින් සමත් වුනා.

නිශ්ශංක ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස ලකුණු 139 දී දැවී යාමෙන් අනතුරුව පිටියට එක් වුනු සියලු ම පිතිකරුවන් පාහේ තරගයේ ජයග්‍රහණයක් වෙත ගෙන යාම වෙනුවෙන් සිය උපරිමය ලබා දුන් නමුත්, ඒ කිසිවකු පිටියේ ස්ථාවර වී සිටීමට අශෝක පන්දු යවන්නන් විසින් ඉඩ ලබා දුන්නේ නැහැ.

විශේෂයෙන් ම ජනාධිපති ඉනිමේ සියලු ම පිතිකරුවන් පාහේ ලකුණු අතරට පැමිණියත්, ඒ සියලු දෙනා ම තරමක් සෙමෙන් සිය ඉනිම් දියත් කිරීම නිසාම ඉනිම අවසානයේ වේගයෙන් ලකුණු සොයා යාමට ඔවුන්ට සිදු වුනා.

ඒ අනුව ජනාධිපති ඉනිමේ 49 වැනි පන්දුවාරය නිම වීමෙන් පසුව ඔවුන්ට කඩුලු 4ක් අතැතිව තරගය ජයග්‍රහණය සඳහා ලකුණු 19ක් අවශ්‍ය වූ අතර එය තවත් අසීරු කරවමින් තරගයේ අවසන් පන්දුවාරයේ පළමු පන්දුවෙන් ම ලකුණු 16ක් ලබා සිටි දිනෙත් අරෝශව දවා ගැනීමට උදයන්ත අභිලාෂ විසින් සමත් වුනා.

ඉන්පසුව ද සිය ජයග්‍රහණයේ බලාපොරොත්තු ගිලිහී යා නොදී තබා ගැනීමට උත්සාහ කළ ජනාධිපති විද්‍යාලයේ නිශාන් නිර්මාල් ඉනිමේ අවසන් පන්දු තුනට හයේ පහර දෙකක් සහ එක් හතරේ පහරක් එල්ල කිරීමට සමත් වුව ද එය ජයග්‍රහණයක් සඳහා ප්‍රමාණවත් වුනේ නැහැ.

ජනාධිපති ඉනිමේ අවසන් භාගයේ දී වේගවත් ඉනිමක් දියත් කරමින් පන්දු 21කින් ලකුණු 39ක් ලබා ගත් නිශාන් ඒ වෙනුවෙන් හයේ පහර 4ක් එක් කර ගැනීමට සමත් වුනා. ජනාධිපති විද්‍යාලය නියමිත පන්දුවාර 50 තුල කඩුලු 7ක් දැවී ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 234ක් පමණයි.

මෙහි දී අශෝක විද්‍යාලය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වීමට උමේෂ් කල්දේරා විසින් සමත් වූයේ සිය පන්දුවාර 10 තුල ලකුණු 35ක් පමණක් ලබා දෙමින් ප්‍රතිවාදී කඩුලු 3 බිඳ හෙළමිනුයි. එසේ පන්දුවෙන් මෙන් ම තරගයේ වැඩි ම ලකුණු ලාභියා බවට පත් වෙමින් ද දැක්වූ දක්ෂතා හේතුවෙන් තරගයේ වීරයා සම්මානය ද උමේශ් වෙත පිරිනැමුණා.

ඒ අනුව 15 වැනි රන් සටනින් කෝට්ටේ ජනාධිපති විද්‍යාලය පරාජය කරමින් ලකුණු 2ක තියුණු ජයක් ලබා ගැනීමට කොළඹ අශෝක විද්‍යාලය සමත් වුනා.

අශෝක විද්‍යාලය 236/10 (44.1) උමේශ් කල්දේරා 86, දුලාජ් හෙට්ටිආරච්චි 35, කල්ප හෙට්ටිආරච්චි 3/33, සසිඳු අවිශ්ක 3/39

ජනාධිපති විද්‍යාලය 234/7 (50) කල්ප හෙට්ටිආරච්චි 50, නිශාන් නිර්මාල් 39, උමේශ් කල්දේරා 3/36, ඉෂාර සඳමාල් 2/39

දේශීය විද්‍යාලාන්තර ක්‍රිකට් තරග පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<