මාධවගේ වේගවත් ප්‍රහාරයෙන් HNB ශූරයින් වෙයි

සිංගර් - වෙළඳසේවා සුපර් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2022

656

29 වැනි සිංගර් වෙළඳසේවා සුපර් ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (5) කොළඹ වෙළඳසේවා ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනා.

එහි දී ජෝන් කීල්ස් ‘A’ කඩුලු 7කින් පරාජය කළ HNB ‘A’ මෙවර සිංගර් – වෙළඳසේවා සුපර් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් වුනා.

ජෝන් කීල්ස් සහ HNB අවසන් පූර්ව තරගවල දී පිළිවෙළින් CDB ෆිනෑන්ස් සහ Mode ඉංජිනියරින් පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.

පැවති අයහපත් කාලගුණ තත්වය නිසාවෙන් මේ පිටියේ තණතිල්ල අවට ප්‍රදේශය තරමක් තෙත ගතියක් පෙන්නුම් කිරීම නිසා මේ තරගයේ ආරම්භය ප්‍රමාද වුනා. ඒ නිසාවෙන් එක් ඉනිමක් පන්දුවාර 30කට සීමා වූ අතර කාසියේ වාසිය දිනූ HNB පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් ජෝන් කීල්ස් නියමිත පන්දුවාර 30 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 218ක් රැස් කිරීමට සමත් වුනා. එහි දී හැටන් නැෂනල් වෙනුවෙන් අර්ධ ශතක දෙකක් වාර්තා වුනු අතර එක් අර්ධ ශතකයක හිමිකරු වූ සචිත ජයතිලක 4 පහරක් සහ දැවැන්ත 6 පහර 6ක් සමඟ පන්දු 43ක දී වේගවත් ලකුණු 63ක් රැස් කිරීමට සමත් වුනා.

එහි අනෙක් අර්ධ ශතකය වාර්තා වූයේ ලකුණු 52ක් රැස් කළ කඩුලු රකින පිතිකරු සදීර සමරවික්‍රමයි. ඊට අමතරව අහන් වික්‍රමසිංහ නොදැවී ලකුණු 26*ක් සහ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ලකුණු 22ක් රැස් කිරීමට සමත් වුනා. පන්දු යැවීමේ දී HNB වෙනුවෙන් තරගාවලිය පුරාවටම කැපී පෙනෙන තුන් ඉරියව් දස්කම් දැක්වූ ඩිල්ෂාන් මුණවීර කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් වුනා.

පිළිතුරු ඉනිම ඇරඹූ HNB දේශාන් ඩයස් සහ ඩිල්ශාන් මුනවීරගේ ආරම්භක කඩුල්ලේ සබඳතාවය පළමු පන්දුවේම අවසන් කරමින් ඩයස් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගියා.

එනමුත් අනෙක් ආරම්භක පිතිකරු වූ කසුන් අබේරත්න පන්දු 79ක් සඳහා මුහුණ දෙමින් නොදැවී ලකුණු 88*ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය සඳහා මෙහෙයවීමට සමත් වුනා. HNB ජයග්‍රහණය සඳහා අවශ්‍ය වුනු මූලික අඩිතාලම සකස් කළ අබේරත්නගේ ඉනිමට 4 පහර 6ක් සහ 6 පහර 2ක් ඇතුළත් වුනා. මුණවීර ලකුණු 23ක් රැස් කළා.

HNB කඩුලු 3ක් ලකුණු 93කට දැවී ගොස් තිබූ පසුබිමක පිටියට පිවිසි HNB නායක මාධව වර්ණපුර වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 86*ක් රැස් කළේ පන්දු 32ක් පමණක් වැය කරමිනුයි. වර්ණපුරගේ එම මනරම් සහ ප්‍රහාරාත්මක ඉනිමට 4 පහර 7ක් සහ 6 පහර 7ක් ඇතුළත් වීම කැපී පෙනුණා.

ඒ අනුව ලකුණු 219ක් රැස් කරමින් කඩුලු 7ක දැවැන්ත ජයක් වාර්තා කළ හැටන් HNB කණ්ඩායම 2022 සිංගර් – වෙළඳසේවා සුපර් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් වුනා. තරගයේ වීරයා සම්මානය මාධව වර්ණපුර සතු වූ අතර තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනා ගැනීමට ඩිල්ෂාන් මුණවීර සමත් වුනා.

  • තරගාවලියේ නැගී එන ක්‍රීඩකයා – විශාද් රන්දික (හේලීස් ‘A’)
  • හොඳම පන්දු යවන්නා – දුවිඳු තිලකරත්න (ජෝන් කීල්ස් ‘A’)
  • හොඳම පිතිකරුවා – ඩිල්ෂාන් මුණවීර (හැටන් නැෂනල් ‘A’)

ලකුණු සාරාංශය,

  • ජෝන් කීල්ස් ‘A’ – 218/6 (30): සචිත ජයතිලක 63, සදීර සමරවික්‍රම 52, අහන් වික්‍රමසිංහ 26*, දිමුත් කරුණාරත්න 22, ඩිල්ශාන් මුණවීර 3/31.
  • HNB ‘A’ – 219/3 (29.3): කසුන් අබේරත්න 88, මාධව වර්ණපුර 86*, ඩිල්ෂාන් මුණවීර 23, සචිත ජයතිලක 1/30, ඉශාන් ජයරත්න 1/33.

HNB කණ්ඩායමට කඩුලු 7ක ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<