සෙරන්ඩිබ් ප්‍රධාන පුහුණුකරු ධූරය ඉසදීන්ට

399
Mohamed Issadeen

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු වන හා යුද හමුදා කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු වන මොහොමඩ් ඉසදීන්, මාවනැල්ල සෙරන්ඩිබ් FC කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස තෝරා පත්කරගෙන ඇත.

ශ්‍රී ලංකාව AFC කුසලාන සුදුසුකම් ලැබීමේ වටයට

මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර දී පැවැත්වීමට නියමිත 19න් පහළ ආසියානු සම්මේලන කුසලාන (AFC) තරගාවලියට සුදුසුකම්…

ශ්‍රී ලංකා පාපන්දු පිටිය තුළ නැගී එන කණ්ඩායම් අතරින් එකක් වන සෙරන්ඩිබ් FC කණ්ඩායම ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබන්නට පසුගිය තරග වාර දෙකේ දී ම සමත් විය. එමෙන්ම පසුගිය දා අවසන් වූ FA කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් කණ්ඩායම් 32 අතරට සුදුසුකම් ලැබූ ඔවුන් එම තරග වටයේ දී ඉතා තියුණු තරගයකින් අනතුරුව සුපර් සන් කණ්ඩායම හමුවේ ගෝල 2-1ක් ලෙස පරාජයට පත්විය.

ඔවුන්ගේ දස්කම් ඉහළ නංවා ගනිමින්, 2017 වසරේ දී ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු කාණ්ඩයේ ශූරතාවය දිනා ගැනීමේ අරමුණින් ඔවුන්ගේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස මොහොමඩ් ඉසදීන්ව පත්කර ගැනීමට කණ්ඩායමේ කළමනාකාරිත්වය තීරණය කර ඇත.

ThePapare.com සමඟ අදහස් දැක්වූ සෙරන්ඩිබ් FC කණ්ඩායමේ කළමනාකරු මොහොමඩ් නව්සිල් ප්‍රකාශ කර සිටියේ;

“අපගේ ඉලක්කය ලබන තරග වාරයේ දී ශූරයින්ගේ කුසලානය සඳහා ක්‍රීඩා කිරීම. ඒ ඉලක්කය වෙත ළඟා වෙන්න අපට හොඳ පුහුණුකරුවෙක් අවශ්‍යයි. ඉසදීන්ගේ පුහුණුකරු වාර්තාව බැලුවම අපිට ඒ කාර්යයට සුදුසුම කෙනා තමා ඔහු.”

“ඔහු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වීම කණ්ඩායමේ තරුණ ක්‍රීඩකයින්ට ගොඩක් වැදගත් වෙයි. ඔහුගේ අත්දැකීම් සහ පාපන්දු පිළිබඳව ඇති දැනුම තුළින් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ දක්ෂතා ඉහළ නංවන්න හැකියාව ලැබෙයි. ඉදිරි තරග වාරයේ දී ඒ අනුව වෙනස්කම් රැසක් දැක ගන්න ලැබෙයි.”

මොහොමඩ් ඉසදීන් යනු කවුදැයි හඳුන්වා දීමේ අවශ්‍යතාවක් නැත. ඔහු කවුදැයි දැන ගැනීමට ඔහුගේ තරග වාර්තා හොඳටම ප්‍රමාණවත් වේ. ඔහු ශ්‍රී ලංකා පාපන්දු ක්ෂේත්‍රයට විශාල මෙහෙයක් සපයා ඇති අතර අදටත් ඔහු ශක්තිමත්ව සිය සේවය සපයයි.

ශ්‍රී ලංකා පාපන්දු ක්ෂේත්‍රය තුළ ඔහුව හැඳින්වෙන්නේ ශ්‍රී ලංකා පාපන්දු ක්ෂේත්‍රයේ ‘ගෝල යන්ත්‍රය’ යන නාමයෙනි. FA කුසලානයේ සහ ශූරයින්ගේ කුසලානයේ පසුගිය තරග වාර දෙකේ දී ම යුද හමුදා කණ්ඩායමට ක්‍රීඩා කරමින් එම තරගාවලිවල වැඩිම ගෝල සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩකයා බවට පත්වෙමින් ‘Golden Boot’ සම්මානයට හිමිකම් කියන්නට ඔහු සමත් විය. එමෙන්ම පසුගිය දා අවසන් වූ FA කුසලානයේ දී ගෝල ත්‍රිත්ව තුනක් රැස්කර ගන්නට ඔහු සමත් විය.

සාර්ථක ක්‍රීඩකයෙකු වීම එක් කරුණක් බවත්, සාර්ථකව කණ්ඩායමක් හසුරුවමින් සාර්ථක කළමනාකරුවෙකු වීම තවත් කරුණක් බවත් කෙනෙකුට තර්ක කළ හැක. නමුත් ක්‍රීඩකයෙකු ලෙස අත්කරගත් සාර්ථකත්වය හා සමාන සාර්ථකත්වයක් කළමනාකරුවෙකු ලෙස ද තමාට අත්කරගත හැකි බව මොහොමඩ් ඉසදීන් සනාථ කර අවසන්ය. ඔහු තිහාරිය යූත් SC කණ්ඩායම ශූරයින්ගේ කුසලාන තරගාවලිය දක්වා රැගෙන යමින් ඒ බව සනාථ කිරීමට සමත් විය.

ඔහු තිහාරිය යූත් SC කණ්ඩායමේ පුහුණුකරු ලෙස වසර 4ක් කටයුතු කළ අතර ඔහු පුහුණුකරු ලෙස පත්වී තුන්වන වසරේ දී ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු කාණ්ඩයේ ශූරතාවය තිහාරිය යොවුන් SC කණ්ඩායමට හිමි කර දෙන්නට සමත් විය. තිහාරිය යොවුන් SC කණ්ඩායම 2013 වසරේ ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු කාණ්ඩයේ අවසන් මහා තරගයේ දී ගම්පොළ ක්‍රිස්ටල් පැලස් FC කණ්ඩායම ගෝල 1-0ක් ලෙස පරාජයට පත්කරමින් ශූරයින්ගේ කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගන්නට සමත් විය.

සෙරන්ඩිබ් FC කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස තේරීපත්වීම සම්බන්ධයෙන් ThePapare.com සමඟ අදහස් දැක්වූ මොහොමඩ් ඉසදීන් ප්‍රකාශ කර සිටියේ;

“සෙරන්ඩිබ් FC කණ්ඩායම මෑත ඉතිහාසයේ දී හොඳින් ක්‍රීඩා කරන්න සමත් වෙලා තියෙනවා වගේම කණ්ඩායම තුළ අත්දැකීම් බහුල ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම සිටිනවා. කණ්ඩායමේ සිටින ශෙරෝන් අත්දැකීම් බහුල ඉතා දක්ෂ ක්‍රීඩකයෙක්. මම ඔහු සමඟ තිහාරිය යොවුන් කණ්ඩායමේත් කටයුතු කරලා හොඳ අවබෝධයක් තිබෙන නිසා පුහුණුවීම් කටයුතුවල දී මට එය පහසුවක් වෙයි. මගේ ඉලක්කය සෙරන්ඩිබ් FC කණ්ඩායම ශූරයින්ගේ කුසලානය දක්වා උසස් කිරීම.”

කණ්ඩායමට නව ක්‍රීඩකයින් එක් කිරීම සම්බන්ධයෙන් ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියේ;

අලුත් ක්‍රීඩකයින් එකතු කර ගැනීමට සැලසුම් කරලා තිබෙන්නේ. නමුත් හොඳම දේ තමයි කණ්ඩායමේ ප්‍රදේශයේ සිටින ක්‍රීඩකයින්ව තෝරා ගෙන, පුහුණු කරලා, කණ්ඩායමට එකතු කරන එක. ඒක තමයි දැනට කණ්ඩායමේ තිබෙන දිගු කාලීන සැලැස්ම සහ අදහස.”

ලබන තරග වාරයේ දී පළමු කාණ්ඩයේ ශූරතාවය දිනා ගැනීම පහසු කාර්යයක් නොවනු ඇත. ජාවා ලේන් SC වැනි කණ්ඩායම් ශූරතාවය සඳහා තරග වදින අතර ඔවුන් මේ වන විට සිය උපරිමයෙන් ක්‍රීඩා කරමින් සිටියි. එමෙන්ම නැගී එන නව කණ්ඩායම් නිසාවෙන් ද තරගාවලිය තවත් උණුසුම් වනු ඇත.

ඒ අනුව මොහොමඩ් ඉසදීන් හට අත්දැකීම් සහිත මෙන්ම නවක ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් පුහුණු කිරීමේ භාර දූර කාර්යයක් පැවරී ඇත.

තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න  පාපන්දු ක්‍රීඩා පිටුවට