සිංහ – කැන්ගරු T20 උණුසුම

ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

1745

මෙරට දීර්ඝ තරග සංචාරයක නිතර වෙන ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය මේ මස 7 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

තරග තුනකින් සමන්විත මේ තරගාවලියේ සියලු තරග රාත්‍රි තරග ලෙසින් ක්‍රියාත්මක වන අතර මේ උත්සාහය සිංහ – කැන්ගරු විස්සයි විස්ස තරග ඉතිහාසයෙන් වර්තමානයට පිවිසීමයි.

මේ කණ්ඩායම් දෙක පළමු වරට විස්සයි විස්ස තරගයක දී හමුවෙන්නේ 2007 වසරේ දී දකුණු අප්‍රිකාවේ දී පැවති පළමු ලෝක කුසලාන තරගාවලියේ දී. එම තරගාවලියේ දී ශ්‍රී ලංකාව C කාණ්ඩයෙන් තරග වදින අතර ඕස්ට්‍රේලියාව B කාණ්ඩයෙන් තරග වදිනවා.

ශ්‍රී ලංකාව පළමු වටයේ දී අපරාජිතයන් ලෙසින් දෙවැනි වටයට පිවිසෙන අතර ඕස්ට්‍රේලියාව එක් තරගයක් පමණක් ජයග්‍රහණය කරමින් ලකුණු ලබා ගැනීමේ වේගය මත දෙවැනි වටයට පිවිසෙනවා.

ශ්‍රී ලංකාව පළමු වටයේ දී කෙන්යාව සහ නවසීලන්තය පරාජය කරමින් අපරාජිතයන් වූව ද, දෙවැනි වටයේ පළමු තරගයෙන් පාකිස්තානය වෙතින් ලකුණු 33ක පරාජයක් ද, බංග්ලාදේශයට එරෙහිව ලකුණු 64ක ජයග්‍රහණයක් ද සහ ඕස්ට්‍රේලියාව වෙතින් කඩුලු 10ක පරාජයක් ද ලබා ගනිමින් තරගාවලියෙන් ඉවතට විසි වෙනවා.

එම පරාජයෙන් පසු, එතැන් සිට මේ දක්වා දෙරට අතර විස්සයි විස්ස තරග 22ක් පවත්වා ඇති අතර ඉන් තරග 12ක ජයග්‍රහණ හිමි වෙන්නේ සංචාරකයන්ටයි. තරග 9ක ජයග්‍රහණ ශ්‍රී ලංකාව වාර්තා කරද්දී එක් තරගයක් විසඳුමකින් තොරව අවසන් වෙනවා.

ඕස්ට්‍රේලියා විස්සයි විස්ස තරග ඉතිහාසයේ ප්‍රතිවාදී කණ්ඩායමකට එරෙහිව වැඩිම ලකුණු වාර්තා කර ඇත්තේ ද ශ්‍රී ලංකාවට එරෙහිවයි. ඒ 2016 වසරේ දී පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී කඩුලු 3කට රැස් කරන ලද ලකුණු 263යි.

එමෙන් ම ඔවුන් තම තරග ඉතිහාසයේ ඉහළ ම ලකුණු සංඛ්‍යාවකින් ජයග්‍රහණයක් වාර්තා  කර ඇත්තේ ද ශ්‍රී ලංකාවට එරෙහිවයි. ඒ 2019 වසරේ දී Adelaide හි දී ලකුණු 134ක ජයග්‍රහණයක් ලබා ගනිමින්.

ඕස්ට්‍රේලියා විස්සයි විස්ස තරගවල මෑත කාලීන තරග ඉතිහාසය හරි අපූරු එකක්.  එය 2020 එංගලන්ත සංචාරයෙන් ආරම්භ වෙන්නේ 2-0ක තරගාවලි පරාජයකින්. අනතුරුව ඉන්දියාව ඉදිරියේ 2-1ක, නවසීලන්තය ඉදිරියේ 3-2ක, බටහිර ඉන්දීය කොදෙව්වන් ඉදිරියේ 4-1ක සහ බංග්ලාදේශය ඉදිරියේ නැවත 4-1ක පරාජයක් ලබා ගනිමින්.

නමුත් ඉන්පසුව 2021 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ  ජයග්‍රාහකයන් වන්නේ ඕස්ට්‍රේලියානුවන්. එතැන් සිට ඔවුන්ගේ තරග ලැයිස්තුව සැකසෙන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව 4-1ක සහ පාකිස්තානයට එරෙහිව 1-0ක ජයග්‍රහණයක් ලෙසයි.

ප්‍රතිවාදීන්ගේ ආසන්නත ම තරගාවලි එසේ නිමා වෙද්දී, ශ්‍රී ලංකාව මේ තරගාවලිය හා එක් වෙන්නේ ලෝක කුසලානයෙන් පසුව පැවති ඕස්ට්‍රේලියාව සමඟ තරගාවලියේ 4-1ක සහ ඉන්දියාව සමඟ 3-0ක පරාජයක් සමඟින්.

එතැන් සිට ය, මේ හරඹය.

ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය: දසුන් ශානක (නායක) පැතුම් නිස්සංක, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, නුවනිඳු ප්‍රනාන්දු, ලහිරු මධුශංක, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුශ්මන්ත චමීර, කසුන් රාජිත, නුවන් තුෂාර, මතීෂ පතිරණ, රමේෂ් මෙන්ඩිස්, මහීෂ් තීක්ෂණ, ප්‍රවීන් ජයවික්‍රම, ලක්ෂාන් සඳකැන්

දසුන් ශානක

විස්සයි විස්ස පිටියේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ බලාපොරොත්තු අතර ප්‍රමුඛයා වෙන්නේ නායක දසුන් ශානක. ඔහු මේ තරගාවලියේ දී තවත් ලකුණු 53ක් ලබා ගතහොත් මෙරට විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ ලකුණු 1,000ක් වාර්තා කළ 8 වැනි පිතිකරුවා බවට පත් විය හැකියි.

මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 65කට මුහුණ දී ඇති දසුන් ඉනිම් 61ක දී ලකුණු 947ක් ලබා සිටිනවා. පන්දු යවන්නෙක් ලෙසින් ද තරග 32ක දී ක්‍රියාත්මක වී ඇති දසුන් කඩුලු 18ක් ලබා ගෙන තිබෙනවා.

දසුන් මේ දක්වා තරග 25ක දී ශ්‍රී ලංකාව මෙහෙයවා ඇති අතර ඉන් තරග 11ක් ජයග්‍රහණය කරමින් තරග 13ක් පරාජය වී තිබෙනවා. එක් තරගයක් ලකුණු සම වීමෙන් නිමා වී ඇත.

 වනිඳු හසරංග 

24 වියැති පා දඟපන්දු යවන වනිඳු හසරංග මෙතෙක් ශ්‍රී ලංකාවෙන් බිහි වූ සාර්ථක ම විස්සයි විස්ස ක්‍රීඩකයා ලෙසින් විචාරකයන්ගේ ඇගයීමට ලක්ව ඇති අතර විස්සයි විස්ස තරග රටාවේ ශ්‍රී ලාංකීය සන්නාමය බවට පත් ව සිටින්නේ ද ඔහුයි.

වනිඳු මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 35ක ඉනිම් 33ක දී පන්දු යවමින් ලබා ඇති කඩුලු සංඛ්‍යාව 57ක්. ඔහුගේ පෞද්ගලික හොඳම පන්දු යැවීම බවට පත් වෙන්නේ ඉන්දියාව සමඟ කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී පසුගිය වසරේ දී ලකුණු 09කට ලබා ගත් කඩුලු 4යි.

විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ දී මේ වන විට 6 වැනි ස්ථානයට ශ්‍රේණිගතව ඇති වනිඳු පසුගිය දා නිමා වූ Indian Premier League ක්‍රිකට් තරගාවලියේ දී Royal Challengers Bangalore නියෝජනය කරමින් සුවිශේෂී දක්ෂතා දක්වමින් දෙස් විදෙස් ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණයට ද පත් වුනා.

ඔහු එම තරගාවලියේ දී තරග 16ක දී කඩුලු 26ක් ලබා ගනිමින් එම තරගාවලියේ පන්දු යවන්නන් අතුරින් දෙවැනි තැන දිනා ගත්තා.

ශ්‍රී ලංකා විස්සයි විස්ස පිතිකරු ලැයිස්තුවේ 18 වැනි තැනට පත් වූව ද වනිඳු ගැන මෙරට ප්‍රේක්ෂකයන් අතර ඇත්තේ ඉපිල යන අදහස්. ඒ මෑත කාලීනව ඔහු දැක්වූ දක්ෂතා නිසා. පිතිකරුවෙක් ලෙසින් ඔහු මෙතෙක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා ඇත්තේ ඉනිම් 29ක දී ලකුණු 345ක් පමණයි. ඒ අතරට ඔස්ට්‍රේලියාව සමග තරග 5කට මුහුණ දී ඇති වනිඳු පිතිකරුවෙක් ලෙසින් ලකුණු 45ක් ද කඩුලු 7ක් ද ලබා ගෙන තිබෙනවා.

ඔහු අවසන් වරට සහභාගී වූ ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 5ක දී කඩුලු 13ක් ලබා ගනිමින් දක්ෂතා දැක්වීමට සමත් ව සිටිනවා.

භානුක රාජපක්ෂ

ශාරීරික යෝග්‍යතාවන් සම්බන්ධ ගැටලු හේතුවෙන් ජාත්‍යන්තර තරග රැසකට මෙරට කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව නොලැබූ භානුක රාජපක්ෂ යළි කණ්ඩායමට කැඳවෙන්නේ නිමා වූ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට පසුවයි.

භානුක මේ දක්වා ජාත්‍යන්තර තරග 18ක ඉනිම් 15ක දී පිටියට පිවිසෙමින් රැස් කරගෙන ඇත්තේ ලකුණු 320ක් පමණයි. ඊට අර්ධ ශතක දෙකක් ඇතුළත්.

නිමා වූ Indian Premier League ක්‍රිකට් තරගාවලියේ Punjab Kings කණ්ඩායම නියෝජනය කළ භානුක තරග 9ක දී ලකුණු 206ක් ලබා ගන්නවා. එම තරගාවලිය නිමා කරමින් මෙරට පැමිණි දිනයේ ම මෙරට අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි විස්ස තරගාවලියට එක් වෙන භානුක එහි දී විස්සයි විස්ස පිටියේ තම මංගල ශතකය වාර්තා කරමින් දේශීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් අතර නැවත වතාවක් තමන් විශ්වසනීය පිතිකරුවෙක් බැව් සැක හැර පෙන්වනවා.

ඕස්ට්‍රේලියා විස්සයි විස්ස සංචිතය:Aaron Finch (නායක), David Warner, Sean Abbott, Ashton Agar, Josh Hazlewood, Josh Inglis, Mitchell Marsh, Glenn Maxwell, Jhye Richardson, Kane Richardson, Steve Smith, Mitchell Starc, Marcus Stoinis, Mitchell Swepson, Matthew Wade,

Aaron Finch

පිතිකරණයේ දී හිත් පිත් නොමැති මේ අසරුවා, ලැබෙන පළමු අවස්ථාවේ දී ම දවා ගැනීම සෑම ප්‍රතිවාදියෙක් විසින් ම කළ යුතුය සිද්ධාන්තයක් බැව් පැවසෙනවා. නොඑසේ නම් එහි ප්‍රතිඵලය භයානකයි.

35 වියැති දකුණතින් පන්දුවට පහර දෙන Finch ඕස්ට්‍රේලියාව විසින් ම හඳුන්වා දී ඇත්තේ එක්දින සහ විස්සයි විස්ස තරග විශේෂඥ පිතිකරුවෙක් ලෙසයි. ඔහු එම තරග වර්ග දෙකෙන් ජාත්‍යන්තර තරග 224කට ක්‍රීඩා කරද්දී ටෙස්ට් පිටියේ ක්‍රීඩා කරන්නට අවස්ථාව ලැබී ඇත්තේ තරග 5කට පමණයි.

Finch මේ දක්වා විස්සයි විස්ස පිටියේ තරග 89ක දී ලකුණු 2741ක් රැස් කරගෙන ඇති අතර එය ඕස්ට්‍රේලියා ක්‍රිකට් ඉතිහාසයේ විස්සයි විස්ස පිටියේ වැඩිම ලකුණු ලබා සිටින පිතිකරු ලෙසයි දැක්වෙන්නේ.

ඊට ශතක දෙකක් සහ අර්ධ ශතක 16ක් ඇතුළත් වෙන අතර ඉන් අර්ධ ශතක 2ක් වාර්තා වෙන්නේ ශ්‍රී ලංකාවට එරෙහිවයි.  ඔහු මෙතෙක් ශ්‍රී ලංකාවට එරෙහිව තරග 14කට ක්‍රීඩා කරමින් ලකුණු 332ක් ලබා සිටිනවා. වාසනාවකට හෝ අවාසනාවකට මේ ඔහුගේ පළමු මෙරට සංචාරයයි.

ඔස්ට්‍රේලියාවේ විස්සයි විස්ස නායකයත්වය හෙඹවූ නායකයන් 11ක් අතරට එක් වෙන Finch එහි සාර්ථක ම නායකයා ලෙසින් ද හැඳින්වෙනවා. ඔහු මෙතෙක් තරග 62කට නායකත්වය ලබා දෙමින් තරග 33ක් ජයග්‍රහණය කරනවා. ප්‍රතිශතයක් ලෙසින් ගත් කළ එහි සාර්ථකත්වය 55.83%ක්.

David Warner

ඕස්ට්‍රේලියා විස්සයි විස්ස පිතිකරු ලැයිස්තුවේ දෙවැනියා වන 35 වියැති වමත් ආරම්භක පිතිකරු Warner මෙතෙක් තරග 88කට ක්‍රීඩා කරමින් ලකුණු 2554ක් රැස් කරගෙන සිටිනවා. ඉන් තරග 13ක දී ලකුණු 512ක් ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා කරන ලද අතර එය ඔහුගේ තරග ලැයිස්තුවේ රටකට එරෙහිව වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව ද වෙනවා.

මේ අතරින් ශ්‍රී ලංකාවේ දී තරග 10කට මුහුණ දී ඇති ඔහු ලකුණු 253ක් ලබා සිටිනවා. ඔහුගේ හොඳම ඉනිම ලෙසින් සටහන් වෙන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව 2019 දී Adelaide හි දී වාර්තා කරන ලද නොදැවී ලකුණු 100යි.

ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ Delhi Capitals නියෝජනය කළ Warner ක්‍රීඩා කළ අවසන් ඉනිම් 10 දී ලකුණු 364ක් රැස් කර ගන්නේ අර්ධ ශතක 4ක් සමඟින්. ආසන්නතම අවසන් කළ ජාත්‍යන්තර තරග 5ක විස්සයි විස්ස දක්ෂතා අර්ධ ශතක දෙකක් සමඟින් ලකුණු 210ක්. එහි තරගයක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 52.5ක්.

ඒ අනුව බැලූ කළ Finchට වඩා Warner භයානක අසරුවෙක් විය හැකියි.

Glenn Maxwell

තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන 33 වියැති Maxwell මේ දක්වා විස්සයි විස්ස තරග 84කට සහභාගී වෙමින් ලකුණු 1982ක් සහ කඩුලු 34ක් ලබා සිටිනවා. ඕස්ට්‍රේලියා විස්සයි විස්ස ඉතිහාසයේ පිතිකරු ලැයිස්තුවේ තෙවැනියා වන ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව තරග 12ක ඉනිම් 10ක දී ලකුණු 424ක් රැස්කර ඇති අතර ඉන් තරග 7ක ලකුණු 219ක් වාර්තා වන්නේ මෙරට දී.

ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී Royal Challengers Bangalore කණ්ඩායමේ සාමාජිකයෙක් වූ ඔහු අවසන් ඉනිම් 10 දී ලකුණු 212ක් සහ කඩුලු 6ක් රැස් කරමින් දක්ෂතා දැක්වූවා. ඔහුගේ මෙතෙක් අවසන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග ඉනිම් 5, ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා වී ඇති අතර එහි දී ඔහු ලකුණු 138ක් ලබා ගන්නේ 34.5ක සාමාන්‍යයක් රඳවා ගනිමින්.

තරග කාලසටහන

  • ජුනි 7 – පළමු විස්සයි විස්ස තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී
  • ජුනි 8 – දෙවැනි විස්සයි විස්සයි තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී
  • ජුනි 11 – තෙවැනි විස්සයි විස්ස තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී

මේ වඩා හිඳ වූ ක්‍රීඩකයන්ට අමතර ව මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පැතුම් නිස්සංක, චරිත් අසලංක පිතිකරුවන් ලෙසින් ද පන්දු යවන්නන් අතුරින් දුශ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ සහ ප්‍රවීන් ජයවික්‍රම ද තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙසින් රමේෂ් මෙන්ඩිස් ද ඉදිරියට පැමිණිය හැකි ක්‍රීඩකයන් ලෙසින් වර්ග කළ හැකියි. එමෙන් ම නිමා වූ එංගලන්ත යොවුන් සංචාරයේ දී දක්ෂතා දැක්වූ නුවනිඳු ප්‍රනාන්දුට ද අවස්ථාවක් ලදොත් මතක හිටින යමක් කළ හැකි ක්‍රීඩකයෙක් බැව් ද විශ්වාස කළ හැකියි.

ඕස්ට්‍රේලියාවේ වමතින් වේගපන්දු යවන Mitchell Starc ද අමතක කළ නොහැකි සංචාරක ක්‍රීඩකයෙක්. ඔස්ට්‍රේලියා විස්සයි විස්ස පිටියේ දෙවැනියට වැඩිම කඩුලු ලබා සිටින Starc මෙන් ම Steve Smith, Marcus Stoinis සහ Matthew Wade ද මේ තරග සංචාරයේ දී අපේ ක්‍රීඩකයන්ට හිසරදයක් වන ක්‍රීඩකයෝ විය හැකියි.

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<