ශ්‍රී ලංකාවට සහය දිවීමෙන් ආසියානු පදක්කමක්

25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය 2023

226
25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය 2023

තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන 25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ දී තවත් පදක්කමක් ශ්‍රී ලංකාවට දිනා දීමට මිශ්‍ර සහය දිවීමේ කණ්ඩායම අද (15)  සමත් වුනා.

මීටර් 4×400 මිශ්‍ර සහය දිවීමේ ඉසව්ව නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගය මිනිත්තු 3:15.41ක කාලයකින් දෙවැන්නා ලෙස අවසන් කිරීමට සමත් වූ අතර මිනිත්තු 3:14.70ක කාලයකින් ඉසව්ව අවසන් කළ ඉන්දීය කණ්ඩායම එහි රන් පදක්කම දිනා ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම ඒ සමඟින් තරගයේ රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වූ අතර මීටර් 4×400 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව බිඳ හෙළීමට ද ඔවුන්ට එහි දී හැකි වීම විශේෂත්වයක්.

එම තරගයේ දී අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, නදීෂා රාමනායක සහ තරුෂි කරුණාරත්න ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළා.

අද දිනය ආරම්භ කරමින් පිරිමි 4×400 සහය දිවීමේ කණ්ඩායම මූලික වටයේ තරගවලට එක් වූ අතර මිනිත්තු 3:04.62ක කාලයකින් ඉසව්ව අවසන් කරමින් ඔවුන් අවසන් වටයට සුදුසුකම් ලැබුවා.

එම මූලික වටයේ තරගය සඳහා අරුණ දර්ශන සහභාගී නොවූ අතර ඔහු හෙට පැවැත්වෙන අවසන් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරනවා.

එම ඉසව්වන්ට අමතරව කාන්තා මීටර් 800 මූලික වටයේ තරග පිළිවෙළින් මිනිත්තු 2:06.01ක කාලයකින් සහ මිනිත්තු 2:07.16ක කාලයකින් අවසන් කරමින් අවසන් වටයේ අසුන වෙන් කරවා ගැනීමට ගයන්තිකා අබේරත්නට සහ තරුෂි කරුණාරත්නට හැකි වුනා.

ශ්‍රී ලංකාව මේ දක්වා තරගාවලිය තුළ රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් ඇතුළුව සමස්ත පදක්කම් හතරක් දිනා ගනිමින් පදක්කම් සටහනේ හත්වැනි ස්ථානයේ පසු වෙනවා.

25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ සියලු තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟම.

>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<