බාලක ශූරතාවය මාරිස් ස්ටෙල්ලා විදුහලට; බාලිකා ශූරතාවය වලලට

Ritzbury සහය දිවීමේ සැණකෙළිය 2023

474
Ritzbury සහය දිවීමේ සැණකෙළිය 2023

Ritzbury ආයතනයේ පූර්ණ අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කළ “2023 Ritzbury පාසල් සහය දිවීමේ සැණකෙළිය” අද (26) නිමාවට පත්වුනා.

දින තුනක් පුරාවට සුගතදාස ක්‍රීඩාංගණයේ දී අතිසාර්ථක ලෙස පැවති මෙම තරගාවලියේ සමස්ත බාලක ශූරතාවය මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය විසින් දිනා ගැනීමට සමත් වූ අතර බාලිකා ශූරතාවය දිනා ගත්තේ මැණික්හින්න වලල ඒ රත්නායක විද්‍යාලයේ ක්‍රීඩිකාවන් විසිනුයි.

>> තරගාවලියේ කුසලාන දිනා ගත් කණ්ඩායම් << 

තරගාවලියේ තෙවැනි දිනය වූ අද දිනයේ වැඩි අවධානයක් දිනා ගත් ඉසව්වක් වන මීටර් 100×4 සහය දිවීමේ අවසන් තරග පැවති අතර එහි 12න් පහළ බාලක ශූරතාවය දිනා ගත්තේ තත්පර 55.5ක කාලයකින් ඉසව්ව අවසන් කළ කොළඹ සාන්ත පීතර විද්‍යාලය විසිනුයි.

තත්පර 50.0ක කාලයකින් ඉසව්ව අවසන් කළ මීගමුව Loyola විද්‍යාලයීය කණ්ඩායම 14න් පහළ ඉසව්ව ජයග්‍රහණය කරද්දී, 16න් පහළ බාලක ඉසව්ව ජයග්‍රහණය කළේ තත්පර 44.7ක කාලයකින් ඉසව්ව අවසන් කළ මීගමුව මාරිස් ස්ටෙල්ලා කණ්ඩායම විසිනුයි.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායම 18න් පහළ බාලක මීටර් 100×4 සහය දිවීමේ තරගය තත්පර 44.6ක කාලයකින් ජය ගනිද්දී, 20න් පහළ තරගය මාතර රාහුල ක්‍රීඩකයින් විසින් ජයග්‍රහණය කළේ තත්පර 42.6ක කාලයකින් තරගය අවසන් කරමිනුයි.

බාලිකා මීටර් 100 ඉසව්වේ 12න් පහළ තරගය ජයග්‍රහණය කිරීමට ගාල්ල Southlands ක්‍රීඩිකාවන් (මිනිත්තු 1:00.3) සමත් වූ අතර තත්පර 54.5ක කාලයකින් ඉසව්ව නිමා කළ පන්නිපිටිය ධර්මපාල ක්‍රීඩිකාවන් 14න් පහළ ඉසව්ව ජයග්‍රහණ කළා.

වත්තල ලයිසියම් විද්‍යාලයීය කණ්ඩායම 18න් පහළ 100×4 තරගය තත්පර 50.4ක කාලයකින් අවසන් කරමින් ජයග්‍රහණය කිරීමට සමත් වෙද්දී, 20න් පහළ 100×4 ද සිය ආධිපත්‍යයේ තබා ගනිමින් ජයග්‍රහණය කිරීමට වලල ඒ රත්නායක (තත්පර 49.0 විද්‍යාලයීය කණ්ඩායමට හැකි වුනා.

තරගාවලිය පුරාවට කැපී පෙනෙන දස්කම් දැක්වූ වලල ඒ රත්නායක 20න් පහළ කාන්තා කණ්ඩායම තරගාවලියේ 100×4, 400×4, 800×4 සහ Medley සහය දිවීමේ තරග සියල්ල ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර එම කණ්ඩායම වෙනුවෙන් යොවුන් ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න ඉතා ඉහළ දස්කම් දැක්වුවා.

>> තරගාවලියේ සමස්ත ප්‍රතිඵල සටහන<<

දේශීය සහ ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ සියලු උණුසුම් පුවත් දැන ගැනීම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<