ගයන්තිකා සහ නදීෂාගෙන් ලක් මාතාවට ආසියානු පදක්කම්

25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය 2023

270
25වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය 2023

වසර හතරක විවේකයකින් පසුව 25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය අද (12) තායිලන්තයේ දී ආරම්භ වුනා.

දින පහක් පුරාවට පැවැත්වෙන මෙම තරගාවලියේ ආරම්භක දිනය වන අද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් තරග බිමට පිවිසි අතර ඒ අය අතරින් නදීෂා ලේකම්ගේ සහ ගයන්තිකා අබේරත්න ලෝකඩ පදක්කම් දිනා ගන්නට සමත් වුනා.

සවස් වරුවේ පැවති කාන්තා හෙල්ල විසිකිරීම අවසන් තරගයට සහභාගී වූ නදීෂා මීටර් 60.93ක දස්කමක් දක්වමින් තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර එය 2013 වසරේ නදීකා ලක්මාලි විසින් (මීටර් 60.64) පිහිටුවා තිබූ ජාතික වාර්තාව අබිබවා යන දස්කමක් වීම කැපී පෙනුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අනෙක් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ගයන්තිකා අබේරත්න සමත් වුනේ කාන්තා මීටර් 1500 තරගය නියෝජනය කරමිනුයි. ඇය එම ඉසව්වේ දී දැක්වූ දක්ෂතාවය මිනිත්තු 4:14.39ක්.

අද දිනයේ පැවති මීටර් 400 තරගයට සහභාගී වූ අරුණ දර්ශන සහ රජිත රාජකරුණා ඉසව්වේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

උදෑසන පැවති මූලික තරගය තත්පර 46.56ක කාලයකින් සහ අවසන් පූර්ව තරගය 45.79ක කාලයකින් අවසන් කරමින් අරුණ අවසන් මහා තරගයේ අසුන් වෙන් කරවා ගද්දී, රජිත මූලික වටය තත්පර 46.52ක කාලයකින් සහ අවසන් පූර්ව වටය තත්පර 46.12ක කාලයකින් අවසන් කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.

කාන්තා මීටර් 400 මූලික වටය සඳහා සහභාගී වූ නදීෂා රාමනායක තත්පර 53.06ක කාලයකින් පළමුවැන්නා ලෙස ඉසව්ව අවසන් කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ අතර මූලික වටයේ වේගවත්ම කාලය ඇය විසින් වාර්තා කිරීම ද විශේෂත්වයක්.

මීට අමතරව අද දිනයේ කාන්තා තුන් පිම්ම අවසන් තරගයට සහභාගී වූ රන්දි කුරේ මීටර් 13.17ක දස්කමක් දැක්වීමට සමත් වූ අතර ඇයට හිමි වුනේ හයවැනි ස්ථානයයි.

25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ සියලු තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟම.

>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<