ඉන්දියාවේ අවාසනාව විවේචනයට බඳුන් වෙයි!

Women's T20 World Cup 2023

1189

පසුගිය බ්‍රහස්පතින්දා (23) කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගයේ දී ඉන්දියාව පරාජය කරමින් ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම නොකඩවා 7 වැනි වරටත් කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබීමට සමත් වුනා.

එම තරගය අවසන් මොහොත තෙක් දෙපිළට ම විවෘත එකක් බවට පත්ව තිබූ නමුත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන්ගේ විශිෂ්ට පන්දු රැකීම මෙන්ම, ඉන්දීය ක්‍රීඩිකාවන්ගේ දවසේ අවාසනාව ද නිසා තරගයේ ජයග්‍රහණය ඕස්ට්‍රේලියාවට හිමි වූ බව පෙනී ගියා.

එහි දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම විසින් පළමුවෙන් පන්දුවට පහර දෙමින් ලබා දුන් ලකුණු 173ක ඉලක්කය හඹා ගිය ඉන්දීය කණ්ඩායම වරක කඩුලු 3ක් දැවී ලකුණු 28ක් ලබා ගෙන අසීරු අඩියකට වැටී සිටි අතර, පසුව Jemimah Rodrigues සහ ඉන්දීය නායිකා Harmanpreet Kaur විසින් දියත් කළ අනර්ඝ ඉනිම් නිසා ඉනිමේ 14 වැනි පන්දුවාරය වන විට ලකුණු 130 සීමාව කඩුලු 4ක් පමණක් දැවී ඉක්මවා යාමට සමත් වුනේ තරගයේ ජයග්‍රහණය තමන්ට උරුම එකක් බවට ඉඟි පළ කරමිනුයි. එමෙන්ම ඒ වන විට පිටියේ නොදැවී රැඳී සිටි Kaur විසින් සිය අර්ධ ශතකය ලබා ගනිමින් ඉතා පහසුවෙන් ලකුණු ලබා ගනිමින් සිටියා.

නමුත් තරගයේ 14 වැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුවට Kaur විසින් පහරක් එල්ල කරමි ලකුණු දෙකක් ලබා ගැනීමට උත්සාහ කරද්දී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසු වුනා.

මෙහි දී පන්දු රකින්නිය විසින් පන්දුව රැගෙන කඩුලු රකින්නිය වෙත බාර කරන විට ඉතාම පහසුවෙන් සිය සීමා ඉර වෙත ළඟා විය හැකි බව වටහා ගෙන සිටි Kaur විසින් සැහැල්ලුවෙන් සීමා ඉර වෙත පැමිණි නමුත් එක් වරම සීමා ඉර ඉක්මවා යාමට පෙර ඇයගේ පිත්ත තණතිල්ල මත හිර වුනා.

ඉන්පසුව ඇයට නැවතත් ප්‍රකෘති තත්වයට පැමිණ සිය සීමා ඉර සලකුණු කිරීමට අවස්ථාවක් නොලැබුණු අතර, ඇයගේ දැවී යාමෙන් පසුව නව ජීවයක් ලද ඕස්ට්‍රේලියානු කණ්ඩායම තරගයෙන් ලකුණු පහක තියුණු ජයග්‍රහණයක් අත් කර ගැනීමට සමත් වුනා.

තරගයේ තීරණාත්මක ම මොහොත මෙන්ම, ඉන්දියාවට ලෝක කුසලානය අහිමි වීමට ප්‍රධානතම හේතුව Kaurගේ දැවී යාම බව බොහෝ දෙනෙක් තරගයෙන් අනතුරුව ප්‍රකාශ කළ අතර, බොහෝ ක්‍රීඩා ප්‍රවීණයින් ඇයගේ දැවී යාම අවාසනාවන්ත එකක් බව පිළිගත්තා වුනත් හිටපු එංගලන්ත නායක මෙන්ම වත්මන් ක්‍රිකට් විස්තර විචාරකයෙකු ද වන Nasser Hussain නම් පවසා තිබුණේ ඇය “පාසල් යන ළමයකු” මෙන් ක්‍රීඩා පිටියේ දිව ගිය බවයි.

තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී මාධ්‍යවේදියකු විසින් Kaurගෙන් Hussainගේ මෙම ප්‍රකාශය පිළිබඳ අදහස් විමසා තිබුණා.

” ඔහු එහෙම කිව්වා ද?, මම ඒක දන්නේ නැහැ. ඒකත් හිතන්න පුළුවන් විදියක් තමයි. මම දන්නේ නැහැ, නමුත් සමහර වෙලාවට එහෙම දේවල් වෙනවා. මම ගොඩක් වෙලාවට දැකලා තියෙනවා ක්‍රිකට් ක්‍රීඩකයින් ඒ විදිහට ලකුණු ලබා ගන්නවා, ඒ වගේම සමහර වෙලාවට පිත්ත එහෙම හිර වෙනවාත්. නමුත් ඇත්තටම මම හිතන්නේ අපි අවාසනාවන්ත වුනා.

අවසන් මහා තරගයට යන්න නම් ගොඩක් දියුණු වෙන්න ඕන. අපි හොඳින් පන්දු යැවුවේ නැහැ, සමහර වෙලාවට හොඳින් පිතිකරණයේ යෙදුණේ නැහැ. ඔබට හොඳ තරගයක් දෙන්න අවශ්‍ය නම් අංශ තුනෙන් ම දස්කම් දක්වන්න පුළුවන් වෙන්න ඕන.

මම හිතන්නේ ඒක අවාසනාව කියලා, නමුත් ඒක පාසල් ළමයකුගේ වැරැද්දක් කියලා නම් මම හිතන්නේ නැහැ. මොකද අපි අවශ්‍ය තරමට පරිණතයි.

ඔහු මොනවා කිව්වත් ඒ ඔහු හිතන විදිහ, නමුත් මම එහෙම හිතන්නේ නැහැ.”

Harmanpreet Kaur විසින් Hussainගේ ප්‍රකාශය පිළිබඳ ඇසූ පැනයට පිළිතුරු ලබා දෙමින් පවසා සිටියා.

එමෙන්ම පෙර පැවසූ පරිදි ම Harmanpreetගේ දැවී යාම සේම, ඉන්දීය කණ්ඩායමේ අනපේක්ෂිත පරාජය පිළිබඳවත් බොහෝ ඉන්දීය ප්‍රේක්ෂකයින් පවා කනගාටු වන්නේ එය අවාසනාවන්ත සිදුවීමක් බවට පවසමින්.

නමුත් ඒ පිළිබඳ ව Nasser Hussain වැනි වෙනස් අදහස් දරන තවත් පිරිසක් ද නැතිවාම නොවෙයි.

ඒ අතරින් හිටපු ඉන්දීය ක්‍රිකට් නායිකාවක් වන Diana Edulji හට ද විශේෂ ස්ථානයක් හිමි වනවා.

ඇය වත්මන් ඉන්දීය කණ්ඩායම පිළිබඳ දැඩි විවේචනයක් සිදු කරමින් පවසන්නේ ඔවුන් අවශ්‍ය තරම් ශාරීරික යෝග්‍යතාවයක් නොමැති ක්‍රීඩිකාවන් පිරිසක් බව සහ BCCI විසින් වහාම ඒ පිළිබඳ ක්‍රියාමාර්ග ගත යුතු බවයි.

“මම හිතන්නේ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමෙත් ප්‍රවීණයින්ට වඩා යෝග්‍යතාව හොඳයි. අවසන් තරගයේ දී ඔවුන්ගේ හුස්ම හිර වුනේ නැහැ. නමුත් ප්‍රවීණ කණ්ඩායමේ 2017 සිට 2023 වෙනතෙක්ම එකම කතාවමයි.

BCCI විසින් ක්‍රීඩකා යෝග්‍යතාව ගැන හරි හමං සැලසුමක් සකස් කර ගත යුතුයි. මම දන්නවා කාන්තාවට Yo Yo පරීක්ෂණය තරමක් අපහසුයි. 15 දෙනාගෙන් (මෙවර සංචිතයේ 12ක් වත් ඒක අසමත් වේවි. නමුත් පිළිගත හැකි යෝග්‍යතා මට්ටමක් වෙනුවෙන් සැලැස්මක් ඔබ සතු විය යුතුයි.”

තරගයේ පරාජයෙන් පසුව ඇය PTI පුවත් සේවයට මෙසේ පවසා සිටියා. දෙපාවලට ශක්තිය නැතිව ලකුණු කරා දිව යා නොහැකි බව පවසමින් ඇය විසින් වත්මන් ක්‍රීඩිකාවන්ගේ යෝග්‍යතා පිළිබඳ තවත් සැලකිලිමත් විය යුතු බව පවසනවා.

“අපිට මේ තරු සංස්කෘතියත් දැන් ඇති ඇති, මේ විදිහට නම් මේක කරන්න බැහැ.”

එමෙන්ම ඉන්දියාවේ බොහෝ විට ඇති වන “තරු සංස්කෘතිය” කාන්තා ක්‍රිකට් වලින් ඈත් විය යුතු බවට ද ඇය පවසා තිබුණා.

කෙසේ වෙතත් වත්මන් ඉන්දීය කාන්තා කණ්ඩායම මෙතෙක් කල් කාන්ත ක්‍රිකට්වල වැජඹුණු ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය වැනි රටවලට එරෙහිව විශාල නැගී සිටීමක් පෙන්නුම් කරමින් සිටින අතරම, එහි තවත් පියවරක් ලෙස ලබන මාසයේ දී කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් ලීගයක් ඉන්දියාවේ දී WPL නමින් ආරම්භ කිරීමට සියලු ම කටයුතු සූදානම් කර හමාරයි.

එමෙන්ම මෙවර ලෝක කුසලාන තරගාවලියේ ඊයේ පැවැත්වුණු දෙවැනි අවසන් පූර්ව තරගයෙන් එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 6ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කළ සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම  හෙට දිනයේ (26) පැවැත්වීමට නියමිත ලෝක කුසලාන අවසන් මහා තරගයට ඕස්ට්‍රේලියාව සමග තරග කිරීමට සුදුසුකම් ලැබුවා.

මෙවර කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමගින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<