ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මෙවරත් ආසියානු රන් පදක්කම් සටනට

20th Asian Games

17
Women Cricket

ජපානයේ Aichi-Nagoya හි දී පැවැත්වෙන 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් කාන්තා ඉසව්වේ අවසන් මහා තරගය අද (22) Nisshin හී Korogi Athletic Park ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

>>චමරිලා ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් සටනට<<

රන් පදක්කම වෙනුවෙන් තරග වදින මෙම තරගයට පසුගිය ක්‍රීඩා උළෙලේ රන් පදක්කම්ලාභී ඉන්දියාව සමඟින් එම ක්‍රීඩා උළෙලේ රිදී පදක්කම්ලාභී ශ්‍රී ලංකාව මෙවර ද එක් වීම විශේෂත්වයක්.

ඔවුනොවුන් මීට පෙර ආසියානු ක්‍රිකට් කවුන්සිලය මඟින් සංවිධානය කළ ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ද අවසන් මහා තරගයේ දී එකිනෙකා හමු වූ අතර එහි දී ශ්‍රී ලංකාවට එරෙහි ව ලකුණු 72ක ජයග්‍රහණයක් ලබා ගනිමින් ඉන්දියාව, ආසියානු ශූරියන් බවට පත් වුණා.

>>ඉන්දියාව නැවතත් ආසියානු ශූරියන් වෙයි<<

ශ්‍රී ලංකාව මෙම තරගය හා එක් වෙන්නේ අර්ධ අවසන් පූර්ව වටයේ දී මැලේසියාව ද අවසන් පූර්ව වටයේ දී ප්‍රබල පාකිස්තාන කණ්ඩායම ද පරාජය කරමින් වන අතර ඉන්දියාව, අර්ධ අවසන් පූර්ව වටයේ දී ජපානය ද සහ අවසන් පූර්ව වටයේ දී  බංග්ලාදේශය ද පරාජය කරමින් මෙම තරගය හා එක් වෙනවා.

මෙම තරගාවලියේ නිමා වූ මෙතෙක් තරගවල දී වඩාත් අවධානය දිනා ගත් ක්‍රීඩිකාව වෙන්නේ ඉන්දියාවේ 22 හැවිරිදි වියේ පසුවෙන තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන Shafali Verma. ඇය තම කණ්ඩායම නිමා කළ තරග ද්විත්වය අවසන් කරන්නේ ලකුණු 140ක් ලබා ගනිමිනුයි. ඒ අතර බංග්ලාදේශයට එරෙහි ව පන්දු 49කින් නොදැවී ලබා ගත් ලකුණු 100ක් ද තිබෙනවා. එම ඉනිමට හයේ පහර 9ක් සහ හතරේ පහර 3ක් එක් කිරීමට ද ඇය සමත් වෙනවා. එය ඇය ගේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දිවියේ මංගල ශතකයයි.

ඇය මෙම අවසන් මහා තරගය හා එක් වෙද්දී, නිමා වූ පිට පිට ඉනිම් 4ක දී ලකුණු 272ක් ලබා ගනිමින් විශ්වසනීය ප්‍රහාරාත්මක පිතිකාරිනියක් බවට කණ්ඩායමේ විශ්වාසය දිනා ගත්තා. එහි සාමාන්‍ය 136.0ක් ලෙසින් පවත්වාගෙන යෑමට ද ඇය සමත් වෙනවා. එම ඉනිම් අතර නිමා වූ ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියේ අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකාවට එරෙහි ව ලබා ගත් ලකුණු 68ක් ද තිබෙනවා.

ඇය ට අමතර ව මෙම තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායමේ නායිකා Harmanpreet Kaur සහ Smriti Mandhana පිතිකාරිනියන් ලෙසින් දක්ෂතා දැක් වූ අතර පන්දු යවන්නියන් අතුරින් Shree Charani තරග ද්විත්වයේ දී කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දක්වද්දී Nandani Sharma සහ Deepti Sharma ද පන්දු යවන්නියන් ලෙසින් දක්ෂතා දැක් වූවා.

ශ්‍රී ලංකාව මේ කඩඉමට ගෙන ඒමේ දී නායිකා චමරි අතපත්තු දැක් වූ දක්ෂතා වඩාත් ඉවහල් වූවා. ඇය නිමා වූ තරග ද්විත්වය අවසන් කරන්නේ අර්ධ ශතක ද්විත්වයකිනුයි. එම ඉනිම් ද්විත්වයේ දී ඇය ලකුණු 146ක් ලබා ගන්නා ලද අතර එහි සාමාන්‍ය 73.00ක් ලෙසින් ද පවත්වාගෙන යෑමට සමත් වෙනවා. ඇය මේ වන විට මෙම තරගාවලියේ වැඩිම ලකුණුලාභිනියන් අතර පෙරමුණ ගෙන තිබෙනවා. එමෙන් ම ඇය ගේ දක්ෂතා අතර දවා ගත් කඩුලු 3ක් ද තිබෙනවා.

ඇයට අමතර ව හසිනි පෙරේරා, කවීෂා දිල්හාරි සහ හර්ෂිතා සමරවික්‍රම ද පිතිකාරිනියක් ලෙසින් මෙම තරගාවලියේ දී දක්ෂතා දැක් වූවා.

කඩුලු දවා ගැනීමේ දී කවීෂා දිල්හාරි, මිතලි අයෝද්‍යා, සුගන්දිකා කුමාරි සහ කාව්‍යා කාවින්දි දක්ෂතා දක්වා තිබෙනවා.

දෙරට විස්සයි විස්ස ජාත්‍යන්තර තරග ඉතිහාසයේ මෙතෙක් තරග 32ක් පවත්වා ඇති අතර ඉන් තරග 26ක් ඉන්දියාව ජයග්‍රහණය කරද්දී, ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කර ඇත්තේ තරග 5ක දී පමණයි. අනෙක් තරගය විසඳුමකින් තොර ව අවසන් ව තිබෙනවා.

එවන් අතීතයක් හිමි දෙරට ක්‍රීඩිකාවන් අතුරින් ඉන්දියාව මෙම තරගය හා එක් වෙන්නේ ශ්‍රී ලංකාවට එරෙහි ව පිට පිට තරග 7ක ජයග්‍රහණ ලබා ගනිමිනුයි. ශ්‍රී ලංකාව අවසන් වරට ඉන්දියාව හමුවේ ජයග්‍රහණය ලබා ඇත්තේ 2024 වසරේ මෙරට දී පැවැති ආසියානු කුසලාන අවසන් මහා තරගයේදීයි.

පෙර තරගයට එක් වූ, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම

චමරි අතපත්තු (නායිකාව), ඉමේෂා දුලානි, හසිනි පෙරේරා, කවීෂා දිල්හාරි, හර්ෂිතා සමරවික්‍රම, හංසිමා කරුණාරත්න, මිතාලි අයෝධ්‍යා, කෞෂිනී නුත්‍යාංගනා (කඩුලු රකින්නිය), සුගන්දිකා කුමාරි, කාව්‍යා කාවින්දි සහ චමුදි ප්‍රබෝධා.

පෙර තරගයට එක් වූ, ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම

Harmanpreet Kaur (නායිකාව), Smriti Mandhana, Shafali Verma, Gunalan Kamalini, Richa Ghosh (කඩුලු රකින්නිය), Bharti Fulmali, Deepti Sharma, Shreyanka Patil, Kranti Gaud, Shree Charani, Nandani Sharma.

ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් ඉසව්වේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<