සහිරා සත් සාමාජික රග්බි කිරුළ සාන්ත පීතර විද්‍යාලයට

Zahira Centenary Rugby 7s 2024

181
2024 Zahira Centenary rugby 7s

කොළඹ සහිරා විද්‍යාලයේ රග්බි ක්‍රීඩාව වෙනුවෙන් වසර සියයක් සපිරීම නිමිත්තෙන් එම විද්‍යාලය විසින් සංවිධානය කළ සහිරා ශත සංවත්සර සත් සාමාජික රග්බි තරගාවලිය ඊයේ (03) දිනයේ සාර්ථකව අවසන් වුනා. 

දිවයින පුරා රග්බි ක්‍රීඩාවෙන් කැපී පෙනෙන පාසල් 16ක සහභාගීත්වයෙන් යුතුව කොළඹ තුරඟ තරග පිටියේ දී සෙනසුරාදා (02) සහ ඉරිදා (03) දින වල පැවැත්වුණු මෙම තරගාවලියේ ශූරතාව ජයග්‍රහණය කිරීමට කොළඹ සාන්ත පීතර විද්‍යාලය විසින් සමත් වුනා. 

පසුගිය සෙනසුරාදා දිනයේ දී පැවැත්වුණු තරගාවලියේ මූලික අදියරේ තරග සඳහා සහභාගී වූ පාසල් 16ම කාණ්ඩ හතරක් යටතේ තරග බිමට පිවිසුණා. 

A  B  C  D 
සහිරා විද්‍යාලය   රාජකීය විද්‍යාලය   ත්‍රිත්ව විද්‍යාලය   කිංග්ස්වුඩ් විද්‍යාලය  
ධර්මරාජ විද්‍යාලය   ශ්‍රී සුමංගල විද්‍යාලය   ඩී.එස්.සේනානායක විද්‍යාලය   ඉසිපතන විද්‍යාලය  
සාන්ත තෝමස් විද්‍යාලය   සාන්ත ජෝසප් විද්‍යාලය   වෙස්ලි විද්‍යාලය   සාන්ත පීතර විද්‍යාලය  
සාන්ත ඇලෝශියස් විද්‍යාලය   ලුම්බිණි විද්‍යාලය   මලියදේව විද්‍යාලය   මහානාම විද්‍යාලය  

මෙම තරගවලින් ලද ප්‍රතිඵල මෙසේයි, 

පාසල  ලකුණු  පාසල 
සහිරා  22  05  සාන්ත ඇලෝශියස්  
ධර්මරාජ   10  14  සාන්ත තෝමස් 
රාජකීය   31  07  ලුම්බිණි  
ශ්‍රී සුමංගල   07  29  සාන්ත ජෝසප් 
ත්‍රිත්ව   33  07  මලියදේව  
ඩී.එස්.සේනානායක   17  05  වෙස්ලි  
කිංග්ස්වුඩ්   19  12  මහානාම  
ඉසිපතන   05  19  සාන්ත පීතර 
සහිරා  35  17  සාන්ත තෝමස් 
ධර්මරාජ   22  07  සාන්ත ඇලෝශියස්  
රාජකීය   19  12  සාන්ත ජෝසප් 
ශ්‍රී සුමංගල  19  21  ලුම්බිණි  
ත්‍රිත්ව   12  26  වෙස්ලි  
ඩී.එස්.සේනානායක   33  00  මලියදේව  
කිංග්ස්වුඩ්   00  34  සාන්ත පීතර 
ඉසිපතන   36  07  මහානාම  
සහිරා  21  17  ධර්මරාජ  
සාන්ත තෝමස්   48  05  සාන්ත ඇලෝශියස්  
රාජකීය   31  00  ශ්‍රී සුමංගල  
සාන්ත ජෝසප්  24  05  ලුම්බිණි  
ත්‍රිත්ව   12  26  ඩී.එස්.සේනානායක  
වෙස්ලි  45  07  මලියදේව  
කිංග්ස්වුඩ්   07  24  ඉසිපතන  
සාන්ත පීතර  52  00  මහානාම  

ඒ අනුව එම තරගවලින් සෑම කාණ්ඩයක ම පළමු ස්ථාන ද්විත්වය ලබා ගැනීමට සමත් වූ පාසල් අටක් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා. එමෙන්ම තරගාවලියේ පළමු දිනයේ තරග ද මෙතෙකින් අවසන් වුනා. 

තරගාවලියේ දෙවන දිනය ආරම්භ කරමින් ශූරතාව සඳහා අර්ධ අවසන් පූර්ව වටයේ තරග පැවැත්වුණු අතර ඒවායේ ප්‍රතිඵල මෙසේයි, 

සහිරා  07  19  වෙස්ලි 
රාජකීය   07  19  ඉසිපතන  
ඩී.එස්.සේනානායක   22  17  සාන්ත තෝමස් 
සාන්ත පීතර  17  00  සාන්ත ජෝසප් 

එමෙන්ම පළමු දිනයේ ම මූලික වටයෙන් ශූරතා සිහිනය අහිමි ව ගිය පාසල් විසින් දෙවන දිනයේ බඳුන සහ පලිහ ශූරතා වෙනුවෙන් සටන් වැදුණා. 

බඳුන ශූරතාව සඳහා අවසන් පූර්ව තරග ප්‍රතිඵල මෙසේයි, 

  • ධර්මරාජ 12 – 29 ත්‍රිත්ව  
  • ලුම්බිණි 14 – 21 කිංග්ස්වුඩ්  

පලිහ ශූරතාව සඳහා අවසන් පූර්ව තරග ප්‍රතිඵල මෙසේයි 

  • සාන්ත ඇලෝශියස් 00 – 31 මලියදේව  
  • ශ්‍රී සුමංගල 07 – 29 මහානාම  

එමෙන්ම අර්ධ අවසන් පූර්ව වටයෙන් ඉවත් වුන පාසල් විසින් පලඟ ශූරතාව වෙනුවෙන් සටන් වැදුණා. 

පලඟ ශූරතාව සඳහා අවසන් පූර්ව තරග ප්‍රතිඵල මෙසේයි, 

  • සහිරා 12 – 35 රාජකීය 
  • සාන්ත තෝමස් 07 – 19 සාන්ත ජෝසප් 

එමෙන්ම තරගාවලියේ වැඩිම ප්‍රේක්ෂක අවධානයක් හිමි වූ දිවයිනේ හොඳම මට්ටමේ පාසල් හතරක් ශූරතාව වෙනුවෙන් අවසන් පූර්ව වටය ක්‍රීඩා කළ අතර එහි දී කොළඹ සාන්ත පීතර සහ කොළඹ ඉසිපතන විද්‍යාල ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුනා. 

ශූරතාව සඳහා අවසන් පූර්ව තරග ප්‍රතිඵල මෙසේයි, 

  • වෙස්ලි 05 – 21 ඉසිපතන  
  • ඩී.එස්.සේනානායක – 35 සාන්ත පීතර 

තරගාවලියේ පිළිමළුන් පිටු දැකීමේ තරග සියල්ල ද එසේ අවසන් වීමෙන් පසුව ඊයේ දිනයේ සවස් බාගයේ දී පාසල් විසින් ශූරතාවන් සඳහා සටන් වැදීම ආරම්භ කළා. 

පලිහ ශූරතාව – කුරුණෑගල මලියදේව විද්‍යාලය  

කොළඹ මහානාම සහ කුරුණෑගල මලියදේව විද්‍යාල අතර පැවැත්වුණු මෙම අවසන් තරගයෙන් ලකුණු 17 – 12ක ජයග්‍රහණයක් ලබා ගැනීමට මලියදේව විද්‍යාලය විසින් සමත් වුනා. 

බඳුන ශූරතාව – මහනුවර ත්‍රිත්ව විද්‍යාලය  

බඳුන ශූරතාව වෙනුවෙන් කන්ද උඩ රට දැවැන්ත රග්බි සන්නාමයන් දෙකක් වන ත්‍රිත්ව සහ කිංග්ස්වුඩ් විද්‍යාල තරඟ වැදුණු අතර, එහි දී ලකුණු 22 – 05ක් ලෙස පහසු ජයක් ලැබීමට ත්‍රිත්ව විද්‍යාලය විසින් සමත් වුනා. 

පලඟ ශූරතාව – කොළඹ රාජකීය විද්‍යාලය  

තවත් රග්බි බල කණු දෙකක් සහ දීර්ඝ කාලීන ප්‍රතිවාදීන් දෙදෙනකු වන කොළඹ රාජකීය විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය අතර පැවැත්වුණු පලඟ ශූරතාව සඳහා සටනෙන් ලකුණු 24 – 17ක ජයග්‍රහණයක් ලබා ගැනීමට රාජකීයයන් විසින් සමත් වුනා. 

එමෙන්ම තරගාවලියේ අවසන් මහා තරගයට පෙර කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලය තරගාවලියේ තුන් වැනි ස්ථානය වෙනුවෙන් සටන් වැදුණු අතර එහි ජයග්‍රහණය හිමි කර ගැනීමට ඩී එස් ක්‍රීඩකයින් විසින් සමත් වුනා. 

ශූරතාව සඳහා අවසන් මහා තරගය 

තරගාවලියේ මූලික වටයේ දී ද ඉසිපතන විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය විසින් එකිනෙකා මුණ ගැසුණු අතර එම තරගය ජයග්‍රහණය කිරීමට (19 – 05) සාන්ත පීතර විද්‍යාලයට හැකි වුනා. 

අවසන් තරගයේ දී සාන්ත පිීතර විද්‍යාලය වෙනුවෙන් විශේන්ක සිල්වා උත්සාහක දිනුම් දෙකක් සහ පසිඳු බණ්ඩාර එක් උත්සාහක දිනුමක් වාර්තා කරද්දී, ඉසිපතනය වෙනුවෙන් වාර්තා වූ එකම උත්සාහක දිනුම මොහමඩ් සුමීර් විසින් වාර්තා කළා. 

ඒ අනුව ලකුණු 17 – 05ක් ලෙස නැවතත් ඉසිපතන විද්‍යාලයට එරෙහිව පහසු ජයක් ලද කොළඹ සාන්ත පීතර විද්‍යාලය සහිරා සත් සාමාජික රග්බි ශූරතාව ජයග්‍රහණය කිරීමට සමත් වුනා. 

  • තරගාවලියේ හොඳම ක්‍රීඩකයා – පසිඳු බණ්ඩාර (සාන්ත පීතර විද්‍යාලය) 
  • තරගාවලියේ ඉහළම ලකුණු ලාභියා මෙනුක වික්‍රමසූරිය (සාන්ත තෝමස් විද්‍යාලය) 

මේ අනුව 2024 වසරේ දේශීය පාසල් රග්බි තරග සමයට ඉතා හොඳ ආරම්භයක් ලබා දෙමින් සහිරා සත් සාමාජික රග්බි ශූරතාව සාර්ථකව නිමාව දුටුවා. 

දේශීය රග්බි ක්‍රීඩාවේ තරග උණුසුම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<